දණහිසේ වේදනාව හේතු සහ පිළියම්


" න වාතෙන විනා ශූලං" වාතයෙන් තොර වේදනාවක් නැත. එසේ නම් දණහිස් වේදනාවට වාතයේ බලපෑමක් ඇති බව මින් පැහැදිලි වේ.

සංඛ්‍යාත්මක වශයෙන් වාත රෝග 80 ක් ඇති බව ආයුර්වේද මූල ග්‍රන්ථයන්හි සඳහන් වන අතර අධික ව්‍යායාමය, නිතර සැහැල්ලු ආහාර මගින් ශරීරය අපතර්පනය, වැටීම, අධික කෘශ බව රාත්‍රියේ නිදිවැරීම, වේග ධාරණය, අධිකව සිතීම, ආදිය ඒ සඳහා පොදුවේ බලපාන හේතු වේ. මෙහිදී ප්‍රධාන හේතුව ලෙස ස්‍රෝතස් අවරෝධය, ධාතු ක්ෂය හඳුනාගත හැකිය.

වාත රෝග සඳහා පොදු හේතු සියළුම වාත රෝගයන් කෙරෙහි විවිධාකාර අයුරින් බලපෑහැකි අතර එක් එක් රෝගය සඳහා විශේෂිතවූ හේතූන්ද හඳුනාගත හැකිය.
විශේෂයෙන්ම දණහිස් වේදනාව පිළිබඳ කථා කිරීමේදී ඒ හා සම්බන්ධ රෝග කිහිපයක් හඳුනාගත හැකිය. එනම්, ක්‍රෝෂ්ටුකශීර්ෂය, ඛල්වි, සන්ධිගත වාතය, ආමවාතය ආදි වශයෙනි.
මෙම එක් එක් රෝග සඳහා සමාන මෙන්ම එකිනෙකට වෙනස් ලක්ෂණද දක්නට ලැබෙන අතර, දණහිස් වේදනාව පිළිබඳ සැළකීමේදී පවත්නා රෝග තත්ත්වය හඳුනාගැනීම ඉතා වැදගත් වේ.

ක්‍රෝෂ්ටුකශීර්ෂය
===============
හිවල් ඔළුවක් මෙන් දණහිස් සන්ධිය තදින් ඉදිමෙන අතර ශෝථ වේදනා දෙකින් දණ සන්ධියට පමණක් සීමා වූ විශේෂ වාත රෝගයකි. එය ජානුකලාශෝථය නමින්ද හඳුන්වනු ලබයි.සන්ධිගජ්වරයේදී (Rheumatic Fever ) මෙන්ම සැරවා සහිත ශෝථයේදීත් සන්ධිය තුළ ද්‍රවයක් පවතින නමුත් ක්‍රෝෂ්ටුකශීර්ෂයේදී එසේ නොමැත.

ආමවාතය
************-
ආමයෙන් දූෂිත වූ වාතය ආමවාතයයි. මෙයට ප්‍රධාන හේතුව ජඨරාග්නියේ දුර්වලතාවයි. එයට අමතරව විරුද්ධාහාර, විරුද්ධ ක්‍රියා, අව්‍යායාමය, අධික මස් මාළු අනුභවය, දීර්ඝ කාලීන මලබද්ධය, බර ආහාර නිතර සේවනය ආදියද ආමවාතය සඳහා හේතු වන බව පෙනේ.

මේ ආදි වශයෙන් දණහිස් වේදනාව සඳහා විවිධ රෝග හේතු බලපෑහැකි අතර නිතර සිදු වන අභිඝාත නිසා දණහිස් කලා පීඩාවට පත්වීම, වෛරස් උණ රෝග, අධික තරබාරුව ආදියද හේතු විය හැකිය. එහිදී රෝග තත්ත්වය අනුව ප්‍රතිකාර තීරණය කිරීම වැදගත් වේ.

විවිධ තැවිලි වර්ග, පත්තු මෙන්ම අභ්‍යන්තර ඖෂධ ආදිය අවස්ථානුකූලව යෙදිය යුතු අතර, රෝගයේ හා රෝගියාගේ තත්ත්වය අනුව ශෝධන ප්‍රතිකාරද යෙදිය හැකිය. ඉතා පුළුල් ලෙස සංවාදයට ලක්විය යුතු මාතෘකාවක්. මෙහිදී ආයුර්වේද හා දේශීය වෛද්‍ය විග්‍රහයේ එන සුළු කොටසක් පමණක් සඳහන් කළෙමි.