වාත රෝග සදහා යොදන ඖෂධ



* යෂ්ඨි මධු චූර්ණය

වැල්මී, තිප්පිලි, අතිවිඩයන්, කුරුදුපොතු, එනසාල්, දෙහිපොතු, සිවියමුල්, ඉරමුසු මුල්, සැවැන්දරා කලද බැගින්, තිරස්වාලු 02 බරයි කුඩුකර සියඹලා බොරින් දෙන්නේය.

බඩේ වායු, නහරවල දුවන වායු, ඇගරුජා, හන්දිවායු, ඉලවායු, අන්ඩවායු, බඩේ පෙළෙන ගෙඩි නිසා ඇතිවන වායු ගුණවේ.

* හිරි වාතයට

සුදුළූන, ඉඟුරු, කොල්ලු, තිප්පිලි මුල්, උදු, කලුදුරු, සුවාස ලුණු, බැබිල, බෙලි, මිදි, එඩරු, වදකහ කසායට ගිතෙල් තලතෙල් බහා දෙන්නේය.

* නීල ඝෘතය

තිපල්, සුදුළූන, අරත්ත, කුරුදු පොතු, කරාඹු, වසාවාසි, සාදික්කා, නාමල් රේණු, කොල්ලන් පත්, එනසාල්, නික මුලෙහි පොතු, සුවද කොට්ටන්, දේවදාර, ඉඟුරු, වැල්මී, සුදුහදුන්, රත්හදුන්, අසමෝදගං, තිප්පිලි, වෙල්ලංගිරිය මුලෙහි පොතු, සවැන්දරා, කළුඅඟිල්, වාල් මොලගු, ඉඟිනි ඇට, රණවරා පසග කලං 03 බැගින් කළු තල නැලියයි. සියල්ල හොදට චූර්ණ කර උක්පැණියෙන් සිහින් වෙන්නට අඹරා සැලක ලන්නේය. මීට එළකිරි නැලි 04, තලතෙල් නැලියයි, තෙලිදිය නැලි 04, ගිතෙල් මනා 01, හාතාවාරිය යුෂ නැලි 01, උක්පැණි යුෂ නැලි 01, පිටවක්කා යුෂ නැලි 01 පදමට කකාර නිවුණු පසු මී පැණි පත 01 කින් අනාගන්නේය. ඉන්පසු කලං 1.5 බැගින් හාතාවාරිය ස්වරස සමග දෙන්නේය.

දැවිලි, හිරිය ආදියෙන් යුත් පැරණි වූ වාත ප්‍රමේහ නසන්නේය. මෙය යොදන කළ මලබද්ධය නැතිවීමට ඖෂධ ද යෙදිය යුතුය. අරළු, බුළු, නෙල්ලි කලං 04 බැගින් චූර්ණය කර තේ හැන්දක් උණුවතුරේ තම්බා නිවෙන්නට හැර පෙරා භාවිතා කළ හැක.

* වාතයට කෂාය

1. අමුක්කරා, අරළු, බුළු, නෙල්ලි, මුඩමහණ, දැත්තමුල්, ඇහැල, ආඩතෝඩා, රසකිද කෂාය කර දීම. දැවිලි හිරිවාතය නසයි.

2. බැබිල, ඉරිවේරිය, බෙලිමුල්, සදුන්, වැල්මී, අරළු, බුළු, නෙල්ලි, සුදුළූනු, ගම්මිරිස්, පැපිලිය, එළබටු, කටුවැල් බටු, දුම්මැල්ල, කටුකරෝසන කෂාය කර දීම. අත් පා හිරිද යුක්ත වාත සමනය වේ.

නීරෝගී සැප ලැබේවා - තෙරුවන් සරණයි !!!