ඇඟිලි හිරි ගතිය, ඇඟිලි පුපුරු ගැසීම වේදනාව නැතිකරන වෙදකමක්


කාපල් ටනල් සින්ඩ්‍රෝමය (carpal tunnel syndrome) මැණික් කටු සන්ධිය ආශ්‍රිතව හටගන්නා සන්ධි වාත රෝගයකි. පුරුෂ පක්ෂයට වඩා කාන්තා පක්ෂය අතර මෙම රෝගය බහුලව පවතී. මැණික් කටු සංධියේ ඇතුලු පැත්තෙන් ගමන් කරන ස්නායුවක් තෙරපීමකට ලක් වීමෙන් රෝග ලක්ෂණ හටගනී. ස්නායුව තෙරපීමේ ප්‍රමාණයට අනුව රෝග ලක්ෂණයන් අඩුවැඩි වේ.

ඇඟිලි වල හිරි ගතිය, ඇඟිලි පුපුරු ගසන්නාක් මෙන් දැනීම, ඇඟිලි වල වේදනාව මුල් කාලයේදී සුළු වශයෙන් පවතී. රාත්‍රී කාලයේදී රෝග ලක්ෂණ වැඩි බවක් පෙන්නුම් කරයි. කල් යත්ම දහවල් කාලයේදී ද රෝග ලක්ෂණ තදින්ම දැනෙන්නට පටන් ගනී.

නිසි ප්‍රතිකාරයක් නොලදහොත් මැණික් කටුවෙන් ඇරැඹෙන වේදනාව ඇඟිලි දෙසට පමණක් නොව මැණික් කටුවෙන් ඉහළට ද ගමන් කරයි. බොහෝවිට එක් අතක පමණක් හටගන්නා මෙම සන්ධි පීඩාව ඇතැම් විට අත් දෙකේම හටගනී.

ලුණු, ඇඹුල්, තෙල් බහුල ආහාර වර්ග මත්පැන්, උෂ්ණ ආහාර වර්ග නිතර නිතර භාවිතය, කෑම දිරවීමට ප්‍රථම නැවත ආහාර ගැනීම, දහවල් නිදා ගැනීම, රෑ නිදි වැරීම, වැඩි වේලාවක් එක දිගට වාඩි වී දුර ගමන් යෑම, කේන්ති යෑම, කෘතිම රසකාරක, වර්ණකාරක, සුවඳකාරක, ක්ෂණික ආහාර භාවිතය, වැරදි ඉරියව් ආදී කාරණා මඟින් වාතයත් රුධිරයත් කෝප වේ. එමනිසා නිසා සන්ධි ආශ්‍රිත පටක කොටස් වල ස්වභාවික පැවැත්ම වෙනස් වී අසාමාන්‍යතා ඇති කරයි.

කාපල් ටනල් සින්ඩ්‍රෝම රෝගයේදී මැණික් කටුවේ ඇතුළු පැත්තේ හරස් අතට තිබෙන තන්තුමය බන්ධනියේ ස්වභාවික තත්ත්වය වෙනස් වී ඝන වීමට ලක් වේ. එවිට ඊට යටින් තිබෙන ස්නායුව තෙරපීමකට ලක් වීමෙන් රෝග ලක්ෂණ පෙන්නුම් කරයි. රෝගය සුවකර ගැනීමට නම් ඉහත දැක් වූ හේතූන්ගෙන් දුරස්විය යුතුයි. එමෙන්ම සන්ධි ආශ්‍රිත පටක නිරෝගී කරවන යෝගී ව්‍යායාමවල යෙදීම ද ප්‍රතිඵල දායකයි.

🔴 මේ සඳහා සුදුසු තැවිල්ලක්...

මැණික් කටුවේ ඇතුළු පැත්තේ ශූලහර වැනි සුදුසු තෙලක් ආලේප කර නික කොළ, තෙල් එඬරු කොළ, ආඩතෝඩ කොළ දෙමිට බැගින් ගෙන කොටා කුඩා පොට්ටනි දෙකක් බැඳ වණ්ඩුවේ තම්බා මඳ රස්නෙන් තැවීමෙන් සහනයක් ලැබිය හැකියි. දිනකට දෙවරක් තැවීම ප්‍රමාණවත්ය. ප්‍රතිකාර කරන කාලය තුළදී ඇල්වතුරෙන් තෙමීම නුසුදුසුය.

🔵 වේදනාව සමනය කරන පත්තුවක්...

අරළු කුඩු, පෙරුම්කායම් කුඩු, සාදික්කා මද කුඩු 50g බැගින් ගන්න. නික කොළ කොටා වතුර දමා ඉස්ම කෝප්ප 02 ක් පමණ මිරිකා ගන්න. එයට ඉහත සියල්ලම දමා දියකර ළිප තබා කකාරවන්න. පත්තු පදමට සිඳුණු පසු ළිපෙන් බා නිවෙන්නට හරින්න. තවන ලද මැණික් කටුව ප්‍රදේශයේ පත්තුව තරමක් ඝනකමට ආලේප කරන්න. මේ රාත්‍රී නින්දට පෙර ආලේප කර පසුවදා උදේ තැවිල්ලට පෙර ඉවත් කරන්න.

උදේ සවස තෙල් හා තැවීමත්, රාත්‍රී නින්දට පෙර පත්තුව ආලේප කිරීමත් එක දිගට එක දින 07ක් පමණ සිදුකරන්න. තවදුරටත් රෝග ලක්ෂණ පවතී නම් ශරීර අභ්‍යන්තරයට ද ඖෂධ ලබා දිය යුතු බැවින් සුදුසුකම ලත් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබාගන්න.