ගව වෙදකම - පළමු කොටස



* සියළු ලෙඩට තෙලයි

මගුල්කරද පොතු, මලලබු එක පමණ ගෙන කොටා ශැලක දියවත්කොට ලිප තබා දවසක් කකාරා යුස පෙරාගෙන නැලියකට සිදවා පස්තෙල් වක්කර පොල් දෙකක කිරි වක්කර කකාරා පෙරා තබා හතලිස් අටක් ලෙඩට පොවනු. තද ලෙඩට කන් වක්කරනු.

* බඩ අඩස්සියට

I.   රසකිද යුස පොල් දියෙන් පොවනු.
II.  කරල්සැබෝ එළකිරෙන් තම්බා අඹරා තිබ්බොටු පමණ ගුලි කොට උණු දියෙන් පොවනු.

* සෙලෙස්මාවට

I.   වලාවැන්න කොළ යුස තැබිලි පොල්කිරෙන් පොවනු.

II.  පුපුලබෙරු, අන්කෙන්ද පොතු වනලා  කොටා මිරිකා ඉස්ම ඇග ගානු.

III. කොහොඹ මුල් පොතු, සපුමල්, නාමල්, බේත් අල, මරින්දු, පල්මානික්කං, වගපුල්, වදකහ මූණමල් ඇට, ඌරුතෙල්, දෙමට පොතු යුස පතයි, තිත්තවැටකොලු ඇට පතයි, මලලබු කොළ යුස පතයි, සේරුමල් පතයි, දෙළුම් මල් පතයි, රත්මල් කලං භාගයයි, රුක්මල් කලං භාගයයි, නාරං, දෙහි, දොඩං ඇට, මදාරා ඇට, මඩුමල් මේ බෙහෙත් එක්කොට අඹරා පොල්කිරි යොදා තෙල් සිද තනා තියා වටින් ඔඩුවට තෙල් පිඹිනු.

IV. දියපරඩල්, තැඹල මල්, දියසෙවෙල්, අරළු, පින්න මල්, මානෙල්, දංපොතු, රසකිද, මහා සාරණ, තම්පලා මුල්, මුගුනුවැන්න යුසයෙන් දෙනු.

V. කූරකොළ, ගැටතුඹ කොළ, පොල්පලා මුල්, ඇඹුලැබිලිය යුසින් අඹරා එම යුසින් පොවනු.

VI. යොන්තුඹ, බැවිතිරිය, කීකිරිදිය, ඉකිරිය, පිටවක්කා, දියමෙනේරිය, පාතාල මුල්, කපුරුමුල් අඹරා කොවක්කා කොළ යුසයෙන් ගුලිකර වේලා කඹලෙන් පුලුස්සා අලුගෙන දොඩං ඇඹුලෙන් කන වක්කරනු.