ඉක්කාව


ඉක්කාව ඇති වීමට ප්‍රධාන වශයෙන් හේතුව මහා ප්‍රාචීරයේ ඇති වන්නා වූ විවිධ වෙනස් වීම්‍ ය.අපගේ ශරීරයේ උර කුහරය උදර කුහරයෙන් වෙන් ව තබන්නේ මහා ප්‍රාචීරයෙනි.මහා ප්‍රාචීරයේ පේශිමය බිත්ති යම් උත්තේජනයකට ලක් වුවහොත් එකවරම උදරය හැකිලී හොදින් පිම්බේ.උදරය තදින් හැකිලෙන විට වාතය ඉතා ඉක්මනින් ඇතුලට ඇදී යයි.එවිට "ඉක්" යන ශබ්දය මතුවේ.එවිට අපි ඉක්කාව ඇති උනා යැයි කියමු.

බොහෝ අවස්ථා වලදී ඉක්කාව ඇති වීමට ප්‍රධාන හේතුවක් නොමැති තරම් ය.ඉක්කාව ඇති වී ඉක්මනින් සුව වේ.එය සාමාන්‍ය තත්ත්වයකි.හුස්ම නොගෙන හැකිතාක් දුරට හුස්ම අල්ලාගෙන සිටීමෙන් ඉක්කාව සුවකර ගත හැක."ඉක්කයි මායි ගාලු ගියා - ඉක්කා දාලා මං ආවා" කියලා හුස්ම අතනොහැර එකදිගට කියන්නට අපේ වැඩිහිටියන් කියන්නේ මේ පදනම මතය.

නමුත් සමහර අවස්ථා වලදී පෙනහළු ආශ්‍රිත ආසාදන නිසා ඉක්කාව ඇති විය හැකිය.තව ද ආහාර මාර්ගයේ ඇති විවිධ ආබාධ ඉක්කාවට හේතු විය හැකිය.අංශභාගය , මොළයේ ඇති වන පිළිකා , රුධිරය කැටි ගැසීම වැනි හේතු නිසා ද ඉක්කාව ඇති වේ.එමෙන්ම මත්පැන් හා දුම්පානය කරන්නන්ටද ඉක්කාව ඇති වීමට ඇති ඉඩකඩ වැඩිය.තවද විරුද්ධ ආහාර ගෙන එම ආහාර විෂ වූ විට ද , වෙනත් විෂක් ශරීර ගත වූ විටද ඉක්කාව ඇති වේ.ඒ අනුව පැහැදිලි වන්නේ ඉක්කාව ඇතැම් රෝගයන්හි මූලික ලක්ෂණයක් ද වන බවයි.