නස්නය පිළිබඳව ලියූ කෙටි සටහන...



නාසයෙන් ඖෂධ වර්ග සිරුර ගත කිරීම නස්න නම් වේ. ප්‍රධාන වශයෙන් යෙදෙන්නේ හිසෙහි රෝග සඳහායි. බොහෝ රෝග වලට නස්න කර්ම කල හැකියි.විශේෂ අවස්ථාවලදී කරනු ලබන නස්න හැර නස්න කිරීමෙන් බලාපොරොත්තු වන්නේ නාසා මාර්ගයෙන් සෙම් කොටස් බැහැර කිරීමයි. ඒ විශේෂයෙන්ම හිසේ සහ පෙනහළු ආශ්‍රිට දූෂිත සෙම් නාසයෙන් බැහැර කරවීමයි.

මඟුලේ යන්නන් දැකලා
කුඹුරේ මඩ කලල් කලා
වැස්සට පැළ යට ඉදලා
නාග විසට නස්න කලා

මේ කවියෙන් කියැවෙන්නේ එසේ විශේෂයෙන් නස්න කරන අවස්ථාවක්.

ඇස කන නාසය නළල මුව ගෙල උගුර තල්ල ආදී හිසේ හට ගන්නා රෝග සඳහා ප්‍රධාන වශයෙන් නශ්‍ය කර්ම යෙදේ. තෙල් වර්ග ඖෂධ කොටා ගත් යුෂ මෙන්ම වියළි ඖෂධ චූර්ණද මේ සඳහා යොදා ගනී.

යම් බෙහෙතක් තලා හෝ යුෂ එම
මැඩ නස්නය කරන අවපීඩන නම
ඒ ඒ විදියට කී කී නස්න හැම
දැන කටයුතු කරනුය මේ නස්න නම

සෙම් හැරවිය යුතු යැයි දසරුවෙන් මතු
සියළු රෝගයට සිර විරේක කල යුතු
එකවිට නැහැවුරා කාරා මුඛෙන් ගතු
හෙතෙම පූතිමස සියළු දොසට යුතු

කවියේ දැක්වෙන ලෙස දේශීය වෙදකමෙහි නස්න ප්‍රභේද කිහිපයක් වේ. නස්නයක් සිදු කිරීමට පෙර රෝගියා ඒ සඳහා සූදානම් කිරීම සඳහා මූලිකව කල යුතු වතාවත් කිහිපයක් වේ.

නස්න කිරීමෙන් පසු රෝගියාට ගිතෙල් සීතල ජලය ආදිය නුසුදුසු වන අතර අජීර්ණ වලට තුඩු දිය හැකි ආහාර වර්ග නොගත යුතුයි. දවල් නිදීම රාත්‍රී නිදි වැරීම නොකළ යුතුයි. එසේම සිත් වේදනා,ක්‍රෝධ කිරීම සුළං වැදීම, දුම් දුහුවිළි වැදීම, අව්ව තැපීම ආදියද වේග දැරීමද නොකල යුතුයි.

නස්න කර්ම කිරීමේදී අඩුවෙන් හෝ වැඩියෙන් නස්නය සිදුවීමෙන් විවිධ ගැටළු ඇතිවිය හැකි බැවින් පළපුරුදු වෙද මහතෙකු ලවා නස්නයක් සිදුකර ගැනීම සුදුසුයි.

ත්‍රිකුළු තල තෙල්ද සිඳ
මෘදුපාක ගෙන නස්නද
සියළු හිස රෝගද
නැසී සිත තුටු කරති මනනද

නස්න පිළිබඳව දීර්ඝ ලිපියක් ඉදිරියේදී ලබා දෙන්නම්. තෙරුවන් සරණයි.