කුෂ්ඨ රෝගය ( දේශීයායුර්වේද විග්‍රහය )


එකිනෙකට විරුද්ධ ආහාර පාන තෙල් බහුල ආහාර, වේග ධාරණය, පමණට වඩා ආහාර ගෙන වෙහෙසීම, අධික තාපය, විඩාව බිය යන මේවායින් පීඩිත වූ කල්හි වහා විශ්‍රාමයෙන් තොරව ඇල්දිය සේවනය කරන තැනැත්තහුගේද, කෑපිට කෑම, අළුත් හාලේ බත්, ලුණු ඇඹුල් ආදිය අති පරිභෝජනය, රාබු, පිටි ආහාර ආදිය ද
දෙමාපිය ගුරුවර ආදීන්ට අවමන් කිරීම, පිදිය යුත්තං නොපිදීම, කාමයෙහි වරදවා හැසිරීම, ආදී හේතූන් නිසා දූෂිත වාතාදී දෝෂයෝ ත්වචයද රක්තය මාංශය ජලීය ධාතුව ලසිකා ආදියද දූෂණය කෙරෙත්.

" කුෂ්ණාති ඉති කුෂ්ඨම්" සිරුරේ ත්වගාදී ධාතූන් නසනුයේ කුෂ්ඨ නමි.
ප්‍රභේද දෙකකි.
මහා කුෂ්ඨ හා ක්ෂුද්‍ර කුෂ්ඨ යනුවෙනි. මහා කුෂ්ඨය සප්ත ප්‍රකාරය.
වාතජ පිත්තජ කඵජ ලෙස වෙන් වෙන් දොස් වලින් ද,
වාතපිත්තජ, වාතකඵජ, පිත්තශ්ලේෂ්මජ ලෙස දොස් දෙක දෙක එක්වීමෙන්ද
ත්‍රිදෝෂජවද වශයෙනි.

කුෂ්ඨ රෝග අටළොසකි (18)
මහා කුෂ්ඨ හත
කපාල කුෂ්ඨය - වාතාධිකයි
ඖදුම්බර කුෂ්ඨය - පිත්තාධිකයි
මංඩල කුෂ්ඨය - කඵාධිකයි
සෘෂ්‍ය ජිහ්ව කුෂ්ඨය - වාතපිත්ත ප්‍රධාන .
පුණ්ඩරික කුෂ්ඨය - කඵපිත්ත ප්‍රධානයි සිධ්ම කුෂ්ඨය - වාතකඵ ප්‍රධානයි
කාකණ කුෂ්ඨය - සම ත්‍රිදෝෂජවද
හට ගැනේ.

ක්ෂුද්‍ර කුෂ්ඨ එකොළොසකි
ඒක කුෂ්ඨය, චර්ම කුෂ්ඨය, කිටිභ, වෛපාදිකය, අලසක, දද්‍රැව, චර්ම දල, පාමය හා කච්චුව, විස්ඵෝට, ශතාරු, විචර්චිකා යනුවෙනි.
එක් එක් ආචාර්ය මත අනුව මෙම ප්‍රභේදයන්හි සුළු වෙනස්කම් දක්නට ඇත

මෙයින් ගම්භීර ධාත්වාශ්‍රය ඇති කුෂ්ඨ වර්ග හත මහා කුෂ්ඨ නමින්ද ත්වචය හෙවත් සමේ ආශ්‍රය ඇතිව හටගන්නා කුෂ්ඨ ක්ෂුද්‍ර කුෂ්ඨ නමින්ද හඳුන්වයි.
================================

නවීනයන් විසින් මහා කුෂ්ඨ හත Leprosy හෙවත් ලාඳුරු නමිනුත් ක්ෂුද්‍ර කුෂ්ඨ එකොළොස Diseases of the skin නමිනුත් ව්‍යවහාර කරයි.

ලක්ෂණ
*කුෂ්ඨය ත්වචයෙහි රස ධාතුවෙහි සිටි කල්හි ශරීරයේ විවර්ණ බව, රූක්ෂ බව, සම හිරිවැටීම, ලොම් ඩැහැගැන්ම, අධිකව දහඩිය පිටවීම, ඇති වේ.

*ලෙය ඇසුරු කළ කල්හි කැසීම ද දුගඳින් යුත් සැරව පැවතීම ද වේ.

මාංශ ධාතුව ඇසුරු කරත්ම උගුර කට වියළීම, ගොරෝසු ස්පර්ශය ඇති බව, ඒ මත කුඩා බිබිලි පැනනැගීම, හිඳි අගින් අනින්නාක් බඳු වේදනාව, ඉරි තැලීම, සුවය කල්ගත වීම වේ

මේධෝ ධාතුව ඇසුරු කළ කල්හි ඇඟිලි ආදිය දිය වී කඩා වැටීම, ඇවිදීමේ අපහසුතාවය, අවයවයන්ගේ බිඳීම, වණ තුවාල පැතිරී යාම, හා ඉහත ලක්ෂණද දක්නට ලැබේ.

ඇට මිදුළු ඇසුරු කළ කල්හි නැහැය ඇතුළතින් දිය වී බිම වැටීම, ඇස් රත් පැහැවීම, ක්‍රිමි පණුවන් හට ගැනිම, ස්වර භේදය ඇතිවේ.

කුෂ්ඨාධික්‍යය නිසා අඹු සැමි දෙදෙනා හට නරක් වූ ශුක්‍ර ශෝණිත ඇති වීම නිසා ඔවුන් හට යම් දරුවෙක් උපන්නේද? ඔහුද කුෂ්ඨ රෝගියෙකැයි දත යුතුය.

මෙයට අමතරව ශ්විත්‍රය හෙවත් කිලාසයද (සුදුකබර) කුෂ්ඨ ගණයෙහිලා සඳහන් කෙරේ.

කුෂ්ඨය බෝවන රෝග යටතේ ලා සැළකේ.
"කුෂ්ඨං ජ්වරශ්ච ශෝෂශ්ච
නේත්‍රාභිෂ්‍යන්ද ඒවච
ඖපසර්ගික රෝගාශ්ච
සංක්‍රාමන්ති නරාන් නරම්"
කුෂ්ඨ රෝග, උණ රෝග, ශෝෂ රෝග, නේත්‍රාභිෂ්‍යන්ද යන රෝග කෙනෙකුගෙන් කෙනෙකුට බෝවන බව මින් කියැවේ
මේ සඳහා පංචකර්ම චිකිත්සාව ප්‍රධාන ප්‍රතිකාර යෙදිය යුතු වන අතර බොහෝ කුෂ්ඨ රෝග සාමාන්‍ය ප්‍රතිකාර මගින් සුව කළ හැකිය.
=================================

දේශීය චිකිත්සාවේ කුෂ්ඨෝත්පත්තිය පිළිබඳ මෙසේ සඳහන් වේ.
පව් කරන සතහ ට
දෙව් කෝපයෙන් ගත පි ට
ලේ කිපි නෙක වි ට
සැදෙන බැව් දනු කුෂ්ඨ දස අ ට

දෙවියන් බමුන් නේ
තපසුන් ඉතිරියන් නේ
තිරිසන් සතුන් නේ
අයිති නෙක දෑ වැනසුවන් නේ

ගෙරි සොරා ගත් හ ට
මිතුරු භේදය කළ හ ට
තුන් දොස කුපිත කො ට
වක්මස මේද හුණු කො ට

සිවිය කොරසැඬි කො ට
උපදි කුෂ්ඨ දස අ ට ..........

යනාදී වශයෙන් කුෂ්ඨ පිළිබඳ දක්වා ඇත