වේදනා නාශක භාවිතයෙන් තොරව සිරුරේ ඇතිවන වේදනා සමනය කරගැනීමට

වේදනා නාශක භාවිතයෙන් තොරව සිරුරේ ඇතිවන වේදනා සමනය කරගැනීමට නිල ප‍්‍රතිකාර
භාවිත කළ හැකිය. ක්ෂණික ඉතා පහසු තමන්ටම කරගත හැකි නිල ප‍්‍රතිකර්ම රාශියක්
තිබේ.මිනිස් සිරුරෙහි නිල ස්ථාන රාශියකි. ඉන් ස්ථාන බොහෝමයක්ම එදිනෙදා
දිවියෙහි ඇතිවන වේදනා සමනයට භාවිත කළ හැකිය.

* ඔබට තද හිස කැක්කුමක් ඇතිනම් ඇහි බැමි දෙක අතර ප‍්‍රදේශය මෘදුව තෙරපන්න.

* ඔබට පීඩා කරන දත් කැක්කුමක් හෝ කන් කැක්කුමක් තිබේනම් නිකට හා යටි තොල
අතරමැද මෘදු ලෙස තෙරපීමෙන් ඒ වේදනා සියල්ල සමනය කර ගැනීමට හැකිය.

* බොහෝ දෙනෙක් බෙල්ලේ සහ උරහිස් හි වේදනාවන්ගෙන් පීඩා විඳිති. ඒ සඳහා උරහිස්
දෙක හා ගෙල අතර හරි මැද ප‍්‍රදේශයෙහි ඇති විශේෂිත නිල ස්ථානය මෘදු ලෙස තෙරපීම
කළ යුතුය.

* ඔබේ දෙපා දිගේ දිවයන වේදනාවක් සමනයට කළ යුත්තේ කොඳුනාරටියේ තුනටිය
ප‍්‍රදේශයේ ඇති නැම්මේ හරි මැද නිලය මෘදු ලෙස තෙරපීමයි. තෙල් ස්වල්පයක් ආලේප
කරමින් මාපටඟිල්ල ආධාරයෙන් කොඳු නාරටිය දෙපසට තෙරපීම මඟින් ද දෙපා දිගේ දුව යන
වේදනාව සමනය කරගත හැකිය.

* සිරුරේ ඕනෑම ස්ථානයක ඇතිවන තදබල වේදනාවක් සමනයට විලූඹට මදක් ඉහළින් බලනහරය
මත සිදු කරන මෘදු තෙරපීමකට හැකියාව ඇත.

* බොහෝ රෝග සමනය කරමින් සිරුරේ ඇතිවන වේදනාවන් දුරු කිරීමට දණහිසට වියතක්
පහළින් ජංගාස්ථිය සහ අනු ජංගාස්ථිය අතර ඇති නිලය යොදාගත හැකිය. එම නිලය නිසි
ලෙස හඳුනාගෙන තෙරපීම මඟින් දීර්ඝායුෂ ලබා ගැනීමට ද අවස්ථාව ඇත.

* ඔබේ අත්පාවල හිරියක් ඇත්නම් දෑතේ සහ දෙපයේ ඇඟිලි අග ඇති නියකන්න මඳක්
තෙරපීමෙන් එය සමනය කර ගැනීමට උත්සාහ කර බලන්න.