ත්‍රී දෝෂයෙන් ප්‍රධාන වාතය

ත්‍රී දෝෂයෙන් ප්‍රධාන වාතය
*************************

විසල් වූ ලෝ ගර්භයේ ප්‍රධානියා මෙන්ම ශරීරයේ ප්‍රධානියා ද වාතයයි.
නිතර ගමනේ යෙදෙන ප්‍රකෘති සම අවස්තාවේ ස්වස්ථභාවය සුරකින,
වෘද්ධි,ක්ෂීණ වූ විට දේහගත රෝගයන් උපදවා රෝගියා පෙළන,
උපතේදීත්,විපතේදීත් අනිවාර්යයෙන් කෝප වන වාතය සැකෙවින් හඳුනා ගනිමු.

වාත කෝප හේතු=
******************

සන්ධාරණාධ්‍යශන ජාගරණෝච්ච
ව්‍යායාම යාන කටු තික්ත කෂාය රූක්ෂෛඃ
චිත්ත ව්‍යාවාය භය ලංඝන ශීතශෝකෛර්
වාතඃ අකෝපමුපයාති සනාගමේ ච

1 වේග ධාරණය හෙවත් මලමූත්‍රා ආදී වේග වැළැක්වීම
2 අධ්‍යශණය හෙවත් බඩ පුරා කෑ දේ දිරවීමට ප්‍රථම නැවත කෑම
3 රැයෙහි නොනිදා සිටීම
4 උගුර රිදෙන තුරු කෑ මොර දීම
5 වෙහෙසීම
6 අලි අසුන් පිට කකුල් පහතට හෙළා බොහෝ දුර යෑම (වාහන වල ,යතුරු පැදි වල ගමන)
7 කටුක,තිත්ත,කෂාය යන රස හා රෑක්ෂ ගුණය සහිත ආහාර පාන නිතර වැළදීම
8 බොහෝ සේ කල්පනාවේ යෙදීම(මානසික ආතතිය)
9 අධික මෙවුන්දම් සේවනය
10 බියවීම
11 උපවාසය
12 ශීත වීර්‍යය ඇති ආහාර විහරණ දෙකෙහි අති සේවනය
13 ශෝකය
14 වර්ෂා සහ ශීත සෘතුවේදි ස්වභාවයෙන්ම

යන මේ කරුණු නිසා ශරීර ගත වාතය කෝප වේ.

වාත කෝප ලක්ෂණ=
********************

ඝ්‍රංස ව්‍යාස ව්‍යාධස්වාප
සාද රෑක්ෂ තෝද භේදනම්
සංඝාංග භංග සංකෝච
වර්ත හර්ෂණ තර්පණම්

කම්ප පාරුෂ්‍ය සෞෂිර්‍ය
ශෝෂ ස්පන්දන චේෂ්ඨනම්
ස්ථම්භඃ කසාය රසතා
වර්ණ ශ්‍යාවෝ රුණේපිවා
කර්මාණි වායෝ

වාත කෝප ලක්ෂණ ලෙස

1 හනු ආදියෙන් සන්ධි වෙන් වූවා මෙන් දැනීම
2 අත පය නැවීමට දිග හැරීමට නොහැකිවීම
3 අප්‍රාණිකත්වය
4 උල් වලින්,ඉඳිකටු වලින් අනින්නාක් මෙන් දැනීම
5 කතා කිරීමේ අපහසුතාවය
6 අවයව හැකිලීම
7 රෝමෝද්ගමනය
8 මලබද්ධතාවය,මූත්‍රා බද්ධතාවය
9 පිපාසය
10 වෙව්ළීම
11 සමේ රළු බව
12 ඇට සිදුරුවල හිස් බව
13 ශරීරයේ හෝ අත පය වල තද බව
14 නිතර කටට කසාය රස දැනීම
15 සිරුරේ පීඩිත ස්ථානයන්හී කළු පාටට හුරු නිල් පැහැ ලප ඇති වීම.

වාත කෝපය සන්සිදුවීමේ උපක්‍රම=
************************************

වාතස්‍යෝපක්‍රමඃ ස්නේහඃ
ස්වේදඃ සංශෝධනං මෘදු
ස්වාද්වම්ල ලවණෝෂ්ණානි
භෝජන්‍යභ්‍යංග මර්දවම්

වේෂ්ඨනං ත්‍රාසනං සේකෝ
මද්‍යං පෛෂ්ඨික ගෞඩිකම්
ස්නිග්ධෝෂ්ණා වසතයෝ වස්ති
නියමඃ සුඛ ශීලතා

දීපනෛඃ පාචනෛඃ සිද්ධා
ස්නේහාස් වානෙක යෝනයඃ
විශේෂාත් මෙද්‍ය පිශ්ඨිත
රස තෛලානු වාසනම්

1  ස්නේහය හෙවත් ඖෂධීය තෛල වර්ග ආලේප කිරීම
2 ස්වේදනය හෙවත් ශරීරයෙන් දහඩිය ගැලීමට සැලැස්වීම
3 මෘදු සංශෝධන යෙදීම
4 මධුර,අම්ල,ලවණ,රස වලින් යුත් ද්‍රව්‍යයන් හා උෂ්ණ ද්‍රව්‍යයන් ආහාරයට ගැනීම
5 බිය ගැන්වීම
6 පිටි වලින් හා උක් සකුරින් කල මධ්‍ය වර්ග පානය
7 දසමුල් කසායෙන් පරිශේක කිරීම
8 සිනිඳුවූත්,උෂ්ණවුත් වස්ති කර්ම යෙදීම
9 සදාචාරයේ හැසිරීම
10 දීපන පාචන ද්‍රව්‍යයන් සමග සිද් කොටගත් තල තෙල් ආදී තෙල් වර්ග යෙදීම
11විශේෂයෙන් පුෂ්ඨිමත් සතුන්ගේ මස් අනුභව කිරීම
12 තෛල වර්ග අනුවාශන කිරීම

යන ක්‍රියාවන්ගෙන් වාත කෝපය සමනයට පත් වේ.