ඇද කුද නැති - අපේ වෙදකම


ඇද,කුද,කුදු නැති ජීවිතයකට
==========================
මිනිස් ශරීරය නිර්මාණය වී ඇති පද්ධතීන් අතර ඉතා සුවිශේෂී පද්ධතියක් වන්නේ "අස්ථි පද්ධතිය" යි.එය "කංකාල පද්ධතිය ,සැකිලි පද්ධතිය"ලෙසත් හැඳින් වෙයි.එහිද "කොඳු ඇට පෙළ" හෙවත් "කශේරුකා පද්ධතිය " ඉතාම සුවිශේෂී වෙයි.මෙය අස්ථි 33කින් සෑදී ඇත.මේ එක් එක් අස්ථීන් ඒවා පිහිටා ඇති ස්ථානය අනුව එයට සරිලන අයුරින් නිර්මාණය වී තිබේ.මේ අස්ථීන් අතර නලාකාර සිදුරක් පවතින අතර ඒ තුළ සුෂුම්නාව පිහිටා ඇත.මෙහි සෑම අස්ථි දෙකක් අතරම බිම්බයක් පිහිටයි.එම කාටිලේජ බිම්බය නිසා කොඳු ඇට පෙළ නැමීමේ දී හෝ බර දරා සිටීමේ දී අස්ථි එකිනෙකට ගැටීමෙන් විය හැකි හානි වළක්වාලයි.මෙය ඉංග්‍රීසි හෝඩියේ "S" අකුරට සමාන හැඩයකින් යුතු වන අතර අස්ථි 33නෙහි පිහිටීම අනුව එය ප්‍රභේද 5කට වර්ග කෙරෙයි.
1.ග්‍රෛවී කශේරුකා - 07
2.උරස් කශේරුකා - 12
3.කටී කශේරුකා - 05
4.ත්‍රික කශේරුකා - 05
5.කෝකක කශේරුකා - 04
මෙම අස්ථි 33 පිහිට කොට ගෙන ශරීරයේ දැනීම් ඇති කරවන එනම් ස්නායුක සමායෝජනය ඇති කරවන ස්නායු පද්ධතියේ මධ්‍ය ස්නායූ පද්ධතිය පවතින බැවින් කශේරුකා පද්ධතිය ඉතා සුවිශේෂී වෙයි.
ශරීරයේ ඇති වන වේදනාවන්,කැක්කුම්,හිරි වැටීම් ආදිය කෙරේ ස්නායූ පද්ධතිය බලපාන අතර කශේරුකා අස්ථි වල වෙනස් වීම් බොහෝ විට මෙම ස්නායූ පීඩාවන් කෙරේ හේතු වෙයි.
කශේරුකාවල වෙනස් වීම,
වැටීම්,තැලීම්,හදිසි අනතුරු,ජන්ම දෝෂ,ආම වාත සන්ධි ශෝත ආදී රෝග තත්ත්වයන් නිසා ද සිදු විය හැකි අතර බහුලව මෙය අපගේ වැරදි ඉරියව් භාවිතය හේතුවෙන් ඇති වන තත්ත්වයකි.
ඒවා දේශීය වෙදකමේ දී "කුද" වශයෙන් හඳුන්වනු ලබයි.ඒවා ,
පැති කුදය,
උඩු කුදය (ඔටු කුදය),
වකුටු කුදය,
නැමි කුදය,
කටුසු කුදය,
ඉබි කුදය,
කෙප්ප කුදය,
රළු කුදය,
යක්ෂ කුදය,
ජන්ම කුදය,
දඬු කුදය, ආදී කුද වර්ග රාශියකට වර්ග කෙරෙයි.
මෙම සියලු කුදයන් සුවපත් කිරීමට හැකි චිකිත්සීය ක්‍රමවේදයන් ද සිංහළ වෙදකම තුළ ඇත.එය දේශීය වෙදකම තුළ "ශල්‍ය ශාස්ත්‍රය " යටතේ සිදු කරනු ලබයි.
දේශීය තෛල වන ,කොර තෙල,මහා හන්ධි තෙල,කුද දෝස තෛලය,වාත තෛලය,අග්‍රරාජ තෛලය ආදී තෛල විශේෂ භාවිතා කරමින් අභ්‍යංගය සිදු කොට ,නිල ගෝල මඟින් වෙනස් වූ අස්ථීන් යථාතත්ත්වයට පත් කොට අවශ්‍ය මැල්ලුම්,ලේප,පත්තු බැඳීම සිදු කිරීම මෙන්ම ,
"දඬු වෙදකම" හෙවත් ලී වලින් සකස් කරනු ලබන කුරුස,පතුරු,බොරු කකුල්,ආදිය බැඳ තබා සිදු කරනු ලබන විශේෂ සිංහළ සැත්කම් වෙදකමක් ද පවතියි.මේ සඳහා ඖෂධ ගුණයෙන් යුක්ත ශාක දැව යොදා ගනු ලබන අතර ,දැව ලබා ගැනීමේ සිට අවශ්‍ය මිනුම් අනුව ආධාරක සකස් කිරීමත්,එය ශරීරයට තබා බැඳීම ,එයට පෙර අවශ්‍ය ප්‍රතිකාර සිදු කොට "නිල ගෝල" ආදී යන්ත්‍ර භාවිතා කොට වෙනස් වූ අස්ථි නිසි ලෙස සකස් කිරීමත් ,එම සැත්කමට පෙර දින කීපයක් පුරා සුදුසු ආහාර,විහරණ,ඖෂධ ලබා දෙමින් පූර්ව කර්මයන් වශයෙන් රෝගියා සැත්කමට සූදානම් කිරීමත්,සැත්කමෙන් පසුව සිදු කරනු ලබන පශ්චාත් කර්මත් ආදිය චාරිත්‍රානුකූලව සිදු කරනු ලබයි.

දිගුව :-

කශේරුකා පද්ධතිය තුළ සිදු වන වෙනස් වීම් හේතූවෙන් ස්නායූ වලට හානි වී අභ්‍යන්තර ඉන්ද්‍රීය පද්ධතියන් දුර්වල වීම පිළිබඳව හා එසේ වෙනස් වූ කශේරුකා පද්ධතීන් භාහිරින් කිසිදු චර්ම ඡේදනයකින් තොරව නිසි සේ සකස් කිරීම් පිළිබඳව තොරතුරු ,
දේශීය සැත්කම් ක්‍රමය,
ඒ සඳහා යොදා ගන්නා ශල්‍ය උපකරණ,
දඹ රං කැට මත ගිනි තබා අභ්‍යන්තරයට නෙරා ඇති අස්ථි පිටතට ගැනීම,
නිල තෙරපුම මඟින් වේදනාවන් සමනය කිරීම හා දුර්වල වූ ස්නායූ නැවත සුවපත් කිරීම ,
ආදිය පිළිබඳ තොරතුරු ඡායාරූප මඟින් හා චලන දර්ශන මඟින් ඉදිරිපත් කරන්නෙමි.

සැමට දීර්ඝායුෂ වේවා !
තෙරුවන් සරණයි !