අක්මාවේ මේදය ඉවත් කරන හෙළයන්ගේ පාරම් පරිකව කුළුබඩු වට්ටෝරුව

අක්මාවේ මේදය ඉවත් කරන හෙළයන්ගේ පාරම් පරිකව කුළුබඩු වට්ටෝරුව

අක්මාවේ මේද තැන්පත්වීම( fatty liver ) මේ වන විට වර්තමාන පරම්පාරව පෙළන බරපතළ රෝග තත්වයක් බවට පත්වී තිබේ. අක්මාවේ මේද තැන්පත් වීම මූලික ඛාණ්ඩ දෙකින් හඳුනා ගත හැකිය.

ඇල්කොහොල් භාවිතය නිසා ඇති වන අක්මාවේ මේද තැන්පත්වීම (Alcoholicfatty liver).

මුල් වකවානුවේ අප විශ්වාස කළේ ඇල්කොහොල් භාවිතය අක්මාවේ මේද තැන්පත් වීමට බලපාන ප්‍රධාන හේතුව බවය. මේ තත්වය සිරෝසීස් තත්වය දක්වා වර්ධනය වන ආකාරය දැකිය හැකි විය. එහෙත් ඖෂධ භාවිතයත් සමඟ ඇල්කොහොල් නිසා ඇතිවන අක්මාවේ මේද තැන්පත් වීමේ තත්වය මගහැරී යයි.

ඇල්කොහොල් මූලික සාධකය නොවන අක්මාවේ මේද තැන්පත් වීමේ තත්ත්වය අවසානයේ බරපතළ රෝග තත්වයක් (Nonalcoholic fatty liver disease) දක්වා වර්ධනය විය හැකිය. මේ බිහිසුණු තත්ත්වයට ප්‍රධානම හේතුව වර්තමාන අහාර ද්‍රව්‍යවල අඩංගු වන අහිතරකර රසායනිකයන්ය.

අප ගන්නා ආහාරවල අඩංගු සංඝටක අක්මාවේදී විෂ හරණය විය යුතුය. ශරීරයට අවශෝෂණය කරගන්නේ අක්මාවේදි සම්පූර්ණයෙන් විෂ හරණය වූ ආහාරය සංඝටකයන්ය. ෆැටිලිවර් තත්වයේදී සිදුවන්නේ ආහාරවල අඩංගු වන රසායනික විෂ සංඝටක කාලයක් ආහාර මාර්ගයෙන් අවශෝෂණය කර අක්මාව ක්‍රමයෙන් අකර්මණ්‍ය වීමය. ඒ තත්වය තුළ මේ විෂහරණ ක්‍රියාවලි අඩාළ වෙමින් යෑමය. ඇල්කොහොල් නොවන අක්මාවේ මේද තැන්පත්වීමේ තත්ත්වය ඇතිවන්නේ ඉන් අනතුරුවය. මේ තත්වය ඇති වීමට ප්‍රධාන කීපයක් බලපානු ලබයි.

1. ආහාරවල අඩංගු කෘෂි රසායනික සංඝටක.

නූතන වගාක්‍රමවේදය තුළ අධිමාත්‍රාවලින් වල්නාශක, කෘමිනාශක මෙන්ම රසායනික පොහොර භාවිත වීම සිදුවේ. ලංකාවේ පරිභෝජනය කරන සහල්වලින් සියයට අනූවකට ආසන්න ප්‍රතිශතයක් මෙම කෘෂි රසායනයන්ගෙන් දූෂිත වී ඇත. තුන්වේල බත් කන මේ සමාජයේ මනුෂ්‍යයන් ඒ සමගම මේ විෂ රසායනයන්ද ශරීර ගත කරයි. එළවළු සම්බන්ධ තත්ත්වයද එයමය. එළවළු වගා කරන්නේ වැඩි වශයෙන් කෘෂි රසායනික භාවිතයෙනි. අප සෞඛ්‍ය ආරක්ෂිත යැයි සිතා අනුභව කරන කඩල, මුංඇට, රතුසහල් පවා මේ විෂෙන් දූෂණය වී ඇත. අප පත්වී ඇති විකල්ප රහිත තත්වය ඒ තරම් දරුණුය. මේ රසායනයන් අක්මාගත මේද තැන්පත් වීමේ රෝග තත්ත්වය ඇති කිරීමට ඍජුව බලපායි.

2. පොල්තෙල් නොවන අසංතෘප්ත මේද.

වෙළෙඳපළේ ඇති සියලුම අසංතෘප්ත මේදය සහිත තෙල් වර්ග ඇල්කොහොල් නොවන අක්මාවේ මේද තැන්පත් වීමේ රෝගයට හේතු වේ. සෞඛ්‍ය ආරක්ෂිත යැයි විශ්වාස කර භාවිත කරන ෆාම්තෙල්, සූරියකාන්ත තෙල්, මාගරින්වර්ග, සොයාතෙල් වැනි සියලුම තෙල් වර්ග මේ තත්වයට එක සේ බලපානු ලැබේ. මෙම තෙල් වර්ග නිෂ්පාදන ක්‍රියවලියේදී ඔමේගා අම්ල අනුපාත වෙනස් වේ. දේශීය සම්ප්‍රදායික ආහාරවල 1:1 වූ ඔමේගා අම්ල අනුපාතය වර්තමාන ආහාරවල 1 : 25 ලෙස වෙනස් වී ඇත. මේ ව්‍යුහාත්මක වෙනස්වීම නිසා අක්මාවේ මේද තැන්පත්වීම මෙන්ම හෘදයාබාධ ඇති කරයි.

එමෙන්ම මෙම තෙල් වර්ගවලට කෘතිම රස කාරක යොදනු ලබයි. එම රස කාරක විෂ සහිත තත්වයන් ඇති කරයි. මේ තත්වයෙන් ගැලවිය නොහැකි සේ මුළු සමාජයම ගිල්වා තිබේ. මේ වන විට වෙළෙඳපළේ පොල්තෙල් භාවිතය අඩු වී ඇත. පොල් තෙල් භාවිතයෙන් ඉවත්වීමත් අක්මාගත මේද තැන්පත්වීමේ රෝග තත්වයට හේතුවක් වී ඇත. පොල්තෙල් ආහාරයට ගත් කිසිම මනුෂ්‍යයෙකුට අක්මාවේ මේද තැන්පත්වූ බවට සාක්ෂි හමුවන්නේ නැත.

3)  කෘතිම රසකාරක.

ආහාරවල තිබෙන කෘතිම රස කාරක හා කෘතිම ආහාර කල්තබා ගන්නා ද්‍රව්‍ය අද වෙළෙඳපළේ ඇති අහාරවල අතිශය බහුතරයක අන්තර්ගතව ඇත. සොස්, බිස්කට් කෝඩියල්, බීම, පාන්, වැනි සියලුම ආහාරවර්ගවලට කෘතිම ආහාර කල්තබා ගැනීමේ රසායන භාවිත කර ඇත. මේ කෘතිම ආහාර ආකලන අක්මාගත මේද තැන්පත්වීමේ රොග තත්වය ඇති කරයි. එම්එස්ජී වැනි රසකාරක මෙම රෝග තත්වය කිරීමේ ප්‍රධාන සාධයකි.

එමෙන්ම සුළු ආහාර ඛාණ්ඩ යටතට ගැනෙන මස්වර්ග, කිරිපිටි වර්ග, පාන්පිටිවලින් තැනූ ආහාර මේ රෝග තත්වය දක්වා සමාජය ඇදගෙන යන ආකාරය හෙළිවෙමින් ඇත. ඛේදවාචකය වන්නේ අප ආහාරයට ගන්නා ආහාර ද්‍රව්‍යවලින් සියයට අනූවක් මේ රෝග තත්ත්වයට අප ඇද දමන බවය.

මෙහි ඇති භයානකම තත්වය බටහිර වෛද්‍ය විද්‍යාව තුළ මේ රෝගී තත්ත්වය සඳහා කිසිම ඖෂධයක් නොමැති වීමය. සිදුවන්නේ රුධිරගත කොලෙස්ටරොල් ප්‍රමාණය වැඩිවන විට එය පාලනය කරන්නට ඖෂධ ලබාදීම පමණි. ඒ ඖෂධත් එක්තරා ආකාරයකින් අක්මාවට හානි සිදු කරයි.

එහෙත් බටහිර නොවන හෙළ වෙදකම අනුව මේ රෝග තත්වයට පිළියම් සොයා ගැනීමට කළ සාර්ථක අත්හදාබැලීම් තිබේ. එය හෙළසුවය ලෙස හඳුන්වා දුන් කැඳ විශේෂයකි. ඕලු හාල් වලින් කළ එම කැඳ අදාළ උපදෙස් නිසි ලෙස පිළිපදිමින් සාදාගෙන භාවිත කළ අවස්ථාවල මේ ඇල්කොහොල් නොවන අක්මාවේ මේද තැන්පත්වීමේ රෝග තත්වය මුළුමනින්ම සුව වන අවස්ථා වාර්තා වේ. බටහිර පරීක්ෂණය ක්‍රමවේදයන්ට අනුව ඕලු කැඳ ගැන විශේෂ පරීක්ෂණයක් මේ වන විට පවත්වාගෙන යයි.

දැනට ගම්පහ රෝහලේ සහ රිජ්වේ ආර්යා ළමා රෝහලේ මෙම කැඳ ආශ්‍රිතව සායනික පරීක්ෂණ පැවැත්වේ. මෙම පරීක්ෂණ ප්‍රතිඵල මෙතරම් පමාවීමට හේතුව බටහිර වෛද්‍ය ක්‍රමවේදය තුළ මෙවැනි අවස්ථාවක් සඳහා තාර්කක අවස්ථාවක් ලබාගැනීමට නොහැකි වීමය. අදාළ පරීක්ෂණ ප්‍රතිඵල ලෙස ඉදිරි මාස කීපය තුළදී ඉදිරිපත් වීමට නියමිතය.

ඉතිහාසයේ අප කවදාවත් අල්කොහොල් නොවන අක්මාගත මේද තැන්පත්වීමේ රෝගය වාර්තා වී නැත. පාරම්පරික කුළුබඩුවලට මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා තිබුණේ පුදුමාකාර හැකියාවකි. අක්මාව පවිත්‍ර කරන ප්‍රධාන ඖෂධ ලෙස බටහිර පරීක්ෂණ අද තහවුරු කරන්නේ ගම්මිරිස්, සුදුලූනු, රම්ප කරපිංචා උළුහාල් වැනි අපේ කුළු බඩුය. ඒ ඉතිහාසය පුරා අප භාවිත කළ අපේ කුළුබඩුය. මේ පාරම්පරික දේශීය ආහාර සම්ප්‍රදාය හා ඒ ආශ්‍රිත දැනුම අමතක කිරීමේ ප්‍රතිඵල සමාජයක් ලෙස අප අත්විඳින්නේ බිහිසුණු ලෙසය.

වෛද්‍ය නිරෝෂ් සමරවික්‍රම
(එම්.බී.බී.එස්)
වැලිසර රෝහල.

කොටුව පත්‍තරෙන් උපුටා ගන්නා ලදී