විෂ චිකිත්සාව



විෂ කොටස්
ස්ථාවර විෂ
ජංගම විෂ
කෘත්‍රිම විෂ
ස්ථාවර විෂ
මුල්, අල, කොළ, ගෙඩි, කිරි, මැලියම්, පොතු, අරටු, දළු, ධාතු යන දස වැදෑරුම් කොටස් ඇසුරු කරගෙන සිටින උද්භිද පාර්ථිව ද්‍රව්‍ය ශරීර ගතවීමෙන් හෝ බාහිරාලේපයෙන් ඇතිවන විෂ තත්වයන් ස්ථාවර විෂ නමින් ගැනේ.

ජංගම විෂ
පොළොවෙහි සැරිසරන සර්ප, මකුළු, මී, බලු, ආදී සතුන්ගේ විෂ ජංගම විෂ නම් වේ

කෘත්‍රිම විෂ
විෂ පදාර්ථ, දහඩිය, ආර්තව, මල ආදී කොටස් සංයෝග කොට දුදනන් විසින් සිය අදහස් සපුරා ගැනීම සදහා උපයෝගි කර ගනු ලබන විෂ මේ නම් වේ. වශිකරන ආදිය මේ ඝනයට‍ අයත් වේ. වහා ප්‍රාණය නොනසන මුත් විවිධ රෝගා කාරකය. නොයෙක් ක්‍රීමි නාශක ද්‍රව්‍ය රසායන පොහොර ආදියෙන් ඇතිවන විෂත් මේ ඝනයට ගත හැක.

ස්ථාවර විෂ ප්‍රතිකාර
වමනය කරවීම හා වමනය කිරීමෙන් පසු සිසිල් දිය සේවනය.
මී පැණි, ගිතෙල් දෙවර්ගයට මිශ්‍ර කරන ලද විෂ නාශක ඔසු පානය කරවීම හෝ තනිකර ගිතෙල් පානය කරවීම.
ආහාර සදහා පරණ දෑ දෙන අතර පරණ හාල් කැද බත් දිය යුතුය.
ඉන්පසු පහළ වන දෝෂ ලක්ෂණයන්ට ප්‍රතිකාර කරමින් වමනය විරේචනය දෙක යොදා ශෝධන කර්ම කළ යුතු වේ. මේ සදහා වෛද්‍ය උපදෙස් පැතීම සුදුසුය.

ජංගම විෂ ප්‍රතිකාර
දෂ්ඨ ස්ථානය හොදින් ඇල් දියෙන් සෝදන්න.

යන්ත්‍ර මන්ත්‍රාදියෙන් විෂ වේගය ඇවිරීම.
කකුල කෑවේනම් කකුල උස් තැනක නොතබා බිම තැබීම. බැදිය හැකිනම් කෑ ස්ථානයට ඉහළින් බැද පොළවට පහත් වන සේ තැබිම හා රෝගිය බිම නිදි කරවීම.
දෂ්ඨ ස්ථානයේ ලේ මිරිකා හැරීම
විෂ ලෙය උරා ඉවත දැමීම
කෑ ස්ථානය දැවීම.
ඖෂධීය ජලය කෑ තැන ගැල්වීම.
වමනය විරේචනාදිය දීම හා අභ්‍යන්තරිකව ඖෂධ දීම.
හිසෙහි බෙහෙත් ගැල්වීම (ගිතෙල්)
හෘදය රැකෙන ඖෂධ දීම ( ගිතෙල් මීපැණි)
විෂ වෛද්‍ය වරයෙකු කැදවීම
අවු: 12ක පමණ නිරෝගි ළමයෙකුගේ මුත්‍රා පෙවීම
අළු කෙසෙල් කදේ පතුරු තලා මිරිකා ඉස්ම පත 3 පමණ පෙවීම.
හීන් අරත්ත යුෂ පත 1ක් බීමට දීම.
රෝගියාගේ මනස නොරිදෙන පරිදි කටයුතු කිරීම.

විෂෙහි දී භාවිත වන ඖෂධය
කිකීරිදිය යුෂ, වරාකොළ යුෂ, සප්සද කොළ යුෂ, අමුක්කරා යුෂ, පිටසුදු සාරණ යුෂ, කූරතම්පලා, සාරණ මුල්, මිදිකොල යුෂ, වැල්පෙනෙල, රසකිද, කටුඑරමුදු පොතු, කේසරබැවිල, අඹ පොතු, රුක් අගුණ, කොටදිඹුල, උදුපියලිය, හීන්මදුරුතලා, වතුසුදු කොළයුෂ, එළගිතෙල්.

මී විෂ
තුවාලය හොදින් සොදන්න.

රත්රන් හෝ යකඩ කැබැල්ලක් රත්කර මීයා කෑ තුව‍ාලයේ තැබීම.
වීදුරු කැබැල්ලක් රත් කර තුවාලය මතුපිට තැබීම.
කෑ මුඛයේ එළගිතෙල් ගා බළලෙකු ලවා ‍ෙලවවිම.
‍නෙළුම් දඩු එළකිරෙන් අඹරා දියකර බීම.
කපුපුළුන් කොළ යුෂ කැද හෝ එම යුෂට මී පැනි දමා බොන්නට දීම.
කූරතම්පලා යුෂ බොන්නට දීම.
කූරතම්පලා කොළ යුෂ, මී පැණි දමා බොන්නට දීම.
දිවුල් කොළ යුස දමා කැද උයා බීම.
කූරතම්පලා කොළ කැද, කූරතම්පලා යුෂ ව්‍යංජනය.
රුක්අත්තන පංචාංගය කෂාය.
දිවුල් කොළ කලං 12ක් කෂාය කර තල තෙල් කලං 3ක් දමා පත දෙවරට දීම.
බළල් විෂ
සැපු ස්ථානය හොදින් සෝදන්න.
කුප්පමේනිය මුල් දෙහි ඇඹුලින් අඹරා ගෑම.
බලු විෂ
බල්ලාට පිස්සුදැයි බලන්න. පිස්සු නම් සුදුසු ප්‍රතිකාර ලබා ගත යුතුය. තුවාලය හොදින් සොදා දමා මුරුංගා දළු, අමු කහ කොටා ඉස්ම තුවාලයට මිරිකා එම තුවාලය මත බැදීම. අඹ පොතු හුණු සමග අඹරා ගෑම.

ගෝනුසු විෂ

කෑ විගස කථා නොකර ඇදි වත කන පිටට හරවා ඇදීම.
පලා ලේ ඉවත් කීරිම.
(කෙමක්) පැරණි බැටරි ගෙන දෙහි ඇඹුලෙන් අඹරා ගෑම.
බුලත් කොළ ඉස්මෙන් පෙරුංකායන් අඹරා ගෑම.
පරණ ලණුවක් පුළුස්සා අළු පොල්තෙලින් අඹරා ගෑම.
කරල් හැඹ මුලක් සපා කෑ තැනට පිබීම.
බඹර - දෙඹර වීෂ
විෂ දළ ඉවත් කිරීම හා කෑ තැන ලුණු දියෙන් සොදා හැරීම හා තෙමීම.
ඉදුනු පුවක් යුෂ ගෑම.
එරබදු කොළ, දෙහී ඇඹුලින් අඹරා ගෑම.
කටුකරඩු දළු, වෙඩරුවෙන් අඹරා ගෑම
මගුල් කරද මුල් පොතු දෙහි ඇඹුලින් අඹරා ගෑම.
කූඩැල්ලා
රත්හදුන් දෙහි ඇඹුලින් ගලගෑම.
කහ එළගිතෙලින් අඹරා ගෑම.
වෙනිවැල් ගැට එළගිතෙලින් අඹරා ගෑම.
දළඹු
බූව සූරා දමන්න.
තුඹකරවිල යුෂින් තුඹකරවිල මුල් අඹරා තලතෙලින් රත්කර ගෑම.
පින්න දළු හුනු තල තෙලෙන් අඹරා ගෑම.
පත්තෑයා
පැපොල් මුලක් නරමුත්‍රයෙන් අඹරා ගෑම.
මදුරු තලා නරමුත්‍රයෙන් අනා ගෑම
ගරුඩරාජ කොළ, දෙහි ඇඹුලින් අඹරා ගෑම.
ගස්කරල් හැබ කරල් ඇල්දියෙන් අඹරා ගෑම.
අමු තුත්තිරි සහමුලින් ගෙන පොල්කටු අගුරට දමා දුම් ඇල්ලීම.
අත්තන
ඇඹුල් ඇඹිලියා කොළ යුෂ කිහිපවරක් පෙවීම
පුහුල් දඩු තම්බා සීනි දමා පෙවීම.
නියගලා
පොල් කිරි පෙවීම.
කැ‍ෙබල්ල දළු උයා කෑම හෝ යුෂ පානය.

අබිං විෂ ලක්ෂණ හා ප්‍රතිකාර
සිහිමුලාව,
කල්පනා කිරීමට නොහැකි කම
හිසරදය
නිදිමත ඇතිවීම
ඇස්කරුවල
හුස්ම ගැනීම දුර්වල වේ
ජලමල අඩස්සිය
පසුව ඇස්තරු පලල් වේ
පිපාසය
ප්‍රතිකාර

අළුකෙහෙල් බඩ මිරිකා යුෂ බීමට දීම.
කුරුම්බා වතුර බීමට දීම
අලු පුහුල් යුෂට සුදුහදුන් ගලගා දියකර සිනී දමා බීම. (බොහෝවිට මෙය ශුන්‍යය)
හාල්පානු වතුරට මී කිරි හෝ බටර් මිශ්‍රකර බීම.
කිරිවලට වියළි ඉගුරු කුඩු දමා බීම.
සියඹලා කොළ තැම්බූ වතුර බීම.
පෙරුංකායන් කබලෙන් බැද ග්‍රේ:60ක් කිරි සමග දීම.(ගංජා විෂ වීමටද ඉහත කී ප්‍රතිකාර යෝග්‍යග.)
කූරතම්පලා යුෂ පෙවීම.
උණු කෝපි පෙවීම.
රෝගියා ඇවිද්දවීම.
නින්දට පත්වීම වැළැවිය යුතුය.
කනේරු විෂ ලක්ෂණ හා ප්‍රතිකාර
වමනය
බඩේ කැක්කුම
හුස්ම ගැනීම වේගවත්ය
සිහිනැතිවීම
ඇස්තරු පළල් වේ
අත පය පන නැතිවීම
ප්‍රතිකාර

ඉගුරු කොළ කොටා මිරිකා පතක් ස්වරසය ගෙන දෙහි යුෂ දමා බීම
දෙළුම් කොළ කොටා මිරිකා දෙහි යුෂ දමා බිම
කිරි අගුන සහ මුල, ආඩතෝඩ කොළ, රතුළූණු කොටා රත්කර මිරිකා රත්කර බීම.
ජයපාල විෂ ලක්ෂණ හා ප්‍රතිකාර
අතීසාරය (මරණයට හේතුව ශරීරයෙන් දියර කොටස් අඩුවී යාමයි.)
වමනය
ප්‍රතිකාර

කුරුම්බා වතුර බීම.
මුං ඇට තැම්බූ වතුර බීම
සුදුදුරු තැම්බූ වතුර බීම.
කෝපි බීම‍
සුදු හදුන් ගලගා පොල් කිරෙන් දීම.
අත්තන විෂ ලක්ෂණ හා ප්‍රතිකාර
කට තිත්ත රසය දැනීම
උගුර කට වියැළිම
ගිලීමේ අපහසුව
වේගවත් නාඩිය, වේගවත්ලෙස හුස්ම ගැනීම
ඇගේ උණුසුම වැඩි වීම
ඇස් තරු පළල් වේ‍
සියළුම දේ රත්වන් වර්ණයෙන් පෙනෙයි.
ඈත තියෙන දේ ලොකුවටත් ලග තියෙන දේ පොලියටත් පෙනෙයි.
ඇග පුරා බිබිලි මතු වේ
නිදා ගැනීමට කැමැත්ත පළ වේ.
ඇග දරදඩු වේ. මෙය මරණාසන්න ලක්ෂණයකි.
ප්‍රතිකාර

වමනය කරවිය යුතුය. මේ සදහා වැල්මී කෂාය හෝ ලුණු වතුර පාවිච්චි කල හැකිය.
වම්බටු ගෙඩි කොටා යුෂ පත ½ ක් පමණ පෙවීම.
එළකිරි වලට සුකිරි දමා බීම හෝ විනාකිරි දමා දීම.
කොට දිඹුලා දළු පොල් සමග කොටා මිරිකා බීම.
එළ මුත්‍රවලට සීනි දමා බීම.
මෝරු මීකිරි ආදිය බීම.
ගොඩ කදුරු විෂ ලක්ෂණ හා ප්‍රතිකාර
වරින් වර ඇග දරදඩුවීම, මෙය ආක්ෂේප අවස්ථාවකි යි කියති.
කට තිත්ත රසක් දැනීම.
මුළු ඇගම අප්‍රාණික වීම.
හුස්ම ගැනීම අමාරු වේ.
වෙව්ලීම ඇති වේ.
හනු තද වී ඇග පිටි අතට නැමේ.
නාඩිය වේගවත්ය
ඇස්තරු පළල් වේ.
ප්‍රතිකාර

වමනය කර විය යුතුය.
තැඹිලි වතුර පෙවීම
කිරිවලට විනාකිරි දමා පෙවීම.
එළගිතෙල් හැකිතරම් දීම
කරදමුංගු තැම්බු වතුරට මි කිරි දමා පෙවීම.
දෙහි යුෂ දීම.
පාසානම් විෂ ලක්ෂණ හා ප්‍රතිකාර
ශරීරයේ උණුසුම වැඩි වේ.
ශරීරයේ දාහ ගතිය වැඩි වේ.
පිපාසය තදින් දැනේ.
කටට කෙළ උනයි. කටහඩ වෙනස් වෙයි
වමනය වේ
අතීසාරය
වමනය හ‍ා මල කොටස් සමග ලේ ද තිබිය හැක
ඇග පණ නැතිවී ඇස් යටට ගිලී කෙණ්ඩා පෙරලීම හට ගනී
ප්‍රතිකාර

ආමාශය සේදීම කළ යුතුය. මෙය වෛද්‍යවරයෙකු විසින් කළ යුත්තකි.
පුහුල් යුෂ බීමට දීම
බිත්තර සුදු මද පෙවීම
හාල් පානු වතුර බීමට දීම
නික කොළ යුෂ බීම.
කිරිවලට මුරුංගා කොළ කොටා යුෂ දමා බීම
ගල්කූරගහ සහමූල කොටා යුසට සීනි දමා බීම.
අළු කෙහෙ‍ල් බඩ යුෂ බීම.
ඊයම් විෂ ලක්ෂණ හා ප්‍රතිකාර
මෙය ක‍ාලාන්තරයක් තිස්සේ ඇති වේ. විශේෂයෙන් ඊයම් සමග වැඩ කරන අයට මේ තත්වය ඇති වේ.
කටට මිහිරි රස, කෂාය රස හෝ ලෝහ රස දැනීම.
කට දන ගතිය, බඩ පිපුම දැවිලි ගතිය.
උගුරේ බූවක් මෙන් පැටලීම
සෙම්කැටි වමනය.
මල කොටස් කළු පාට වීම.
අත් පා පන නැති වීම, සන්ධි පන නැති වීම.
විදුරුමසේ නිල් පාටට ඉරි මතු වීම.
ප්‍රතිකාර

වමනය කරවීම හා විරේචනය කරවීම.
පුහුල් යුෂ දීම.
දෙළුම් ස්වරසය දීම.
කිරි සීනි සමග බීම, දෙහි යුෂ සීනි දමා බීම.
කදුරු විෂ වීම ලක්ෂණ හා ප්‍රතිකාර
වමනය හා පාචනය.
ගොඩ කදුරු විෂ ලක්ෂණ වලට සමානව ලක්ෂණ ඇති වේ.
ප්‍රතිකාර

කූරතම්පලා සහමූල පොල් සමග කොටා යුෂට දෙහි ඉස්ම දමා බීම.
මුගුනුවැන්න, වැටකේයා බඩ, ඉගුරු, දෙළුම් කොළ මේවා කොටා යුෂට එළගිතෙල් දමා බීම.
මඤ්ඤොක්කා විෂ වීම ලක්ෂණ හා ප්‍රතිකාර
වමනය, හිසරදය
බඩේ වේදනාව
ප්‍රතිකාර

පොල් කිරී බීම
පොල් කිරි වලට අළු ටිකක් මිශ්‍රකර බීම.
කුරුම්බා වතුර තැඹිලි වතුර බීම.
පේර කොළ කැද
භූමිතෙල් විෂ වීම ලක්ෂණ හා ප්‍රතිකාර
භුමිතෙල් වල සුවද හමයි.
ක්ලාන්තය
කටින් පෙන දමයි. ආශ්වාසයට ප්‍රශ්වාසයට අවහිර වේ
ප්‍රතිකාර

වමනය කරවීම
කිරි පුහුල් මද ඉස්ම බීමට දීම.
කෘමිනාශක දියර වීෂ වීම ලක්ෂණ හා ප්‍රතිකාර
වමනය
කරකැවිල්ල
අත පණ නැතිවීම
ප්‍රතිකාර

වහාම රෝහලක් කරා යැවිය යුතුය.
එළකිරි වලට සුදු හදුන් දියකර පෙවීම. (සිහි ඇත්නම්)
සිහිමුර්ජාව ප්‍රතිකාර
සිසිල් දිය මුහුණට ඉසීම
නවසාරං සුනු මුහුණට ඇල්ලීම
ඉතා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතුය
නියගලා විෂ වීම ලක්ෂණ හා ප්‍රතිකාර
උගුර කට දැවිල්ල
වමනය ඔක්කාරය.
අතීසාර වීම.(බඩ යාම)
පපුවේ ගැස්ම වැඩි වේ. පසුව හෘදයේ ක්‍රියාකාරිත්වයට බාධා කරයි.
ප්‍රතිකාර

වමනය කරවීම
කිරි, එළගිතෙල්, තැඹිලි වතුර, පුහුල් මද ඉස්ම ආදිය පාන වර්ග දීම
ඉගුරු කෂාය කර දීම
මද්‍යස‍ාර විෂ වීම ලක්ෂණ හා ප්‍රතිකර
මුවින් සහ හෙලන හුස්මෙන් මද්‍යසාර සුවද නික්මෙයි.
ගොත වූ කථාව.
ප්‍රතිකාර

අතුල් පතුල් වල පොල් තෙල් ගෑම
දෙහි යුෂ හිසට දැමීම.
පේර කොළ කොටා ඉස්ම පෙවීම
රට ඉදි ඇල්දියෙන් අඹරා ඊටම දියකර පෙවීම.
පුහුල් ඉස්ම උකු හකුරු දමා බීම
හොඩල විෂ වීම ලක්ෂණ හා ප්‍රතිකාර
වමනය, විරේචනය වීම.
හෘදය වේදනාව හා ගැස්මේ විකෘති
ප්‍රතිකාර

පුහුල් දඩු තැම්බු වතුර, තැඹිලි වතුර බොන්නට දීම.
එළකිරි බීම
දෙළුම් කොළ කොටා ඉස්මට එළකිරි, සීනි, එළගිතෙල් දමා බීම.
කිකීරිදිය, කූරමුල්, දෙළුම් කොළ, ඉගුරු කොටා මිරිකා පොල් කිරි දමා බීම.
රසදිය විෂ වීම ලක්ෂණ හා ප්‍රතිකාර
කටට කෙළ ඉනීම
කටට ලෝහ රසයක් දැනීම
මුඛ දාහය
ශ්ලේෂ්මල කලාවන් සුදුවන් වීම
මුඛය, දිව අළු පාට වීම
වමනය
හමේ බිබිලි, පළු මතුවීම හා කැසීම
මුර්ජාව
ප්‍රතිකාර

කිරිවලට ගෙන්දගම් කුඩු දමා බීම
කරවිල මුල් අඹරා ඇල් දියෙන් දීම
කිකිරිදිය සහ මුල කොටා යුෂ පෙවීම
උණ කොළ යුෂ සීනි දමා බීම