(ලංකාවේ රාවණා රජුගේ බෙහෙතකි)
සියලු සන්නිපාත උණට
ශුධ රස භාග 1 ශුධ ගන්ධක භාග 1
අභ්රක භෂ්ම " 1 ශුධ වච්චනාවි " 1
ශුධ පුස්කර " 1 ශුධ හිරියල් " 1
මේවා සමසේ ගෙන කරල් සැබෝ මුල් චූර්ණ රත්නෙටොල් මුලේ පොතු යුසින් අඹරා යුෂ මිරිකා රෙදිකඩකින් පෙරා ගෙන එයින් අරඹනු. දින7ක් මෙසේ අඹරා පසුව බින්තල් අල යුසින් දින 3ක් අව්වෙ තබා භාවනා දෙනු.
පසුව ගව තන පුඩුවක හැඩයට කෝවයක් තනා එහි බෙහෙත දමා කට වසා මැටි තවරා වියලා ගත් රෙදිකඩ 7කින් එය වෙලා මෘදු පූටයක් දෙන්න. මෙය ඉබේ නිවුන කල බේත ගෙන පහත සදහන් ඔසු වර්ග යොදා සංස්කරණය කළ යුතුයි .
ලොහ භෂ්ම ,වංග භෂ්ම ,මී අරටු, කළාඳුරු ,වල්ගාමිරිස්,ගුගුල්,ශුධ මනෝසීල ,නාමල් රේණු මේ සියල්ල වෙන වෙනම රසදිය පමණටද(ශුධ රස) ශුධ වච්චනාවි රසදිය පමණින් අඩක්ද යොදා වච්චනාවි ක්වාථයෙන් තියුණු අව්වේ වරකට දෙපැයක් බැගින් සත්දිනක් භාවිතා දෙනු.
එය රැගෙන නැවත තිපල් කතුරු මුරුංගා මුහුදු පෙණ කංසා කොළ රත්නෙටොල් දූදු යන මේවායේ යුෂයෙන් වෙන වෙනමද ඌරු මීගව එළු මොණර මෝර යන මේ පස්දෙනාගේ පිත් පහෙන්ද වෙන් වශයෙන් එකකින් 7වර බැගින් භාවනා දෙනු .
යළිත් එම බේතට සමබර වච්චනාවි ගෙන චූර්ණය කර එයින් බේතට දුම්දෙනු.මෙයින් පසු මෙම ශ්‍රේෂ්ඨ ඖෂධය සිඬියට පත්වේ,මෙය වීදුරු බඳුනක තබාගතයුතුයි.
මාත්‍රාව : ඔළිද ඇට 1ක බර රත්නෙටොල් කෂායෙන් දෙනු.
සන්නිපාත රෝගීන්ගේ
-------------------------------------
මූඪ භාවයට : මෙම බෙහෙත ඔළිද ඇටයක පමණ ගෙන අමු ඉඟුරු යුසින් අඹරා රෝගියාගෙ හිස් මුදුන ක්ෂූරයකින් (විසහළ දැළිපිහීයකින්) මදක් පලා ආලේප කරනු .
හනු පූට්ටුවට : දැළිපිහීයකින් තල්ල මුල මඳක් සිඳ අමු ඉඟුරු යුසින් මේ රසය ආලේප කරනු . දත් හිරිය හනු පූට්ටුව ගුණවෙ.
අරුචියට : වතුර කල සියයක් මංත්ර ජපකොට සේවනයෙන්(නෑමෙන්) අරුචිය දුරුවේයැයි කියන ලදි.නෂ්ටාවශේෂයෙන් දැනුදු පවත්නා වතුර මැතිරීමේ එක් ක්‍රමයක් වූ මේ විධිය රවුළු(රාවණා ) සමයෙහි හෙළදිව පතළව තිබුනා විය හැකිය.
දීකිරි සමග බත් සීනි හා සුදුදුරු මිශ්‍රව සාදා වැළදීම පිපාසයට සීනි පැණිරස වර්ග මිශ්‍ර පානීයන් පෙවීම, යමක් රෝගියා ඉල්ලයිද ඒ සියල්ල නොවලහා දීම,යන මේ ආදී උපචාරයෙන් රෝගියාගෙ උණ තාපය සංසිඳේ.තාපය හා වේදනා මෙයිනුදු නොසංසිදුන හොත් මේ පිළියම් කරනු.
1. කපුරු සඳුන් අඹරා ඇඟ ගල්වනු
2.බෝලිද්ද මල් ඉද්ද මල් සමන්පිච්ච මල් දොඹ මල් මූණමල් යන මල් වර්ග අතුරා යහාන සදා රෝගියා එහි හොවා වහා ඔහු සියොලඟ සුදුහදුන් ආලේප ගල්වනු .
3.නව යොවුන් තරුණ කුමරියන් දෙන භාව භාව විලාස ලීලාවන්ගෙන් හා නෙතග බැලුම් සැරයන්ගෙන්ද රෝගියා සිත වසඟ කරනු.
එසේම පීන පයෝදර ස්පර්ශයෙන් තරුණ කාන්තාවන් ලවා රෝගියා පිරිමැදීමාදියෙන් උපචාර යොදවනු.දෙසවන් මිහිරි මනහර වීණා නාද ගායනය කරවීමද පින් පොත කියවීම ,ආසා ඇති සිලෝ කවි කතා කීමෙන්ද රෝගියා සනසනු.
මේ උපචාර විධීන්ගෙන් උණ සංතාපය දුරුවේ මැයි.
සැ:යු: මේ ඖෂධය සෑදීමට නොසිතන්න,මන්ද මේ සදහා යොදාගන්නා බොහොමයක් ඖෂධ ඉතා මාරක විෂ සහිත බැවිනි. විෂ මාරනය,ශෝධනය හා පූට ක්‍රම එදා රස වෙදකමේ කෙල පැමිණි පුලස්ථි සෘශි හා ඔහුගේ මුණුපුරෙක් වූ රාවණා රජුම සාදා බලා අත්දැකීමෙන් අත්දුටු බව පසක් කරනු වස් මේ වට්ටෝරුව ඉදිරිපත් කලෙමි.
එදා රසදිය නයි විෂ දළුක් කිරි වැනි මාරාන්තික විෂ වර්ග සමග පිනුම් ගැසූ රාවණා රජුම මෙවැනි ඔසු නිපදවා අසරණ රෝගීන් සුවපත් කලා විනා අදවනවිට මේවැනි ඖෂධ සාදනවා තබා සිතීමත් විහිලුවක් වී හමාරය.
අදවනවිට ආයුර්වේද සංස්ථාවේ පවා රස වෙදකම විෂයට පමණක් සීමාවී ඇත. ඒ එදා මෙවන් වූ විශේෂිත වෙදකමක් හෙලවෙදකමේ තිබුනා යන්න වෛද්‍ය සිසුන්ගේ දැනගැනීම හා ඒත්තු ගැන්වීමට පිණිස පමණක් බව නොකියාම බැරිය.
මෙවැනි ඖෂධ නිපදවන වෙදපරම්පරා අදවනවිට අභාවයට ගොස් ඇත.ඒ ඖෂධ සොයාගැනීමට හා මාරනය ,ශෝධනය ,පූට ක්රමයන් සදහා අවැසි අනෙකුත් දැ සොයා සපයා ගැනීමේ ඇති දුෂ්කරතාවයන් නිසාය.
මේ සියල්ල අපේ දේට ඇලුම් කරන ආදරය කරන ඒවා රැකගැනීමට යම්තම් හෝ වෙරදරන පාඨක ඔබේ දැනුම බුද්ධිය වර්ධනය කරනු වස් ඉදිරිපත් කලෙමි .
තෙරුවන් සරණයි.