ලිපි අංක - i
වැඩ කර රඹ තොරණක් සරසන වා
ඉඩ හැර පරතෙර තුනට බෙදන වා
ලෙඩ මර රෝ දුක් දෝස නසන වා
ඉඩ හැර වීදියේ අවසර දෙන වා
දේශීය හෙළ වෙදකමේත් ආයුර්වේද චිකිත්සා කර්මයේත් චිකිත්සා ක්‍රිරියාවලියේ වෙනස ඉතාමත් පැහැදිලිව වෙන්කර පෙන්විය හැකි එක් ප්‍රධාන සංදිස්ථානයකි මෙම පංච කර්ම චිකිත්සා ක්‍රම වේදය. පංච යනු පහ ය, කර්ම යනු ක්‍රියාවන් ය. ඒ අනුව මෙම පංච කර්ම හෙවත් ක්‍රියාවන් පහේ චිකිත්සාවලියේ කර්මයන් පහ වෛද්‍ය භාවිතයන් දෙකටම පොදුය. ඒ වමන, විරේකන, නස්‍ය, වස්ති, රක්තමෝක්ෂණ ලෙසින් වුවත් චිකිත්සාවේදී මේවා දෙයාකාරය. දේශීය චිකිත්සාවේදි මෙයට ගුප්ත විද්‍යාවේ පිහිට පැතීම අනිවාර්යය අංගයක් විය. එයට හේතූන් කිහිපයක් බලපානු ලබයි.
විශේෂයෙන් සාමාන්‍ය චිකිත්සාවකදී කරනුයේ රෝගී ශරීරය තුලට ඖෂධ ප්‍රයෝග කිරීමයි. නමුත් මෙහිදී කෙරෙනුයේ රෝගී ශරීර අභ්‍යන්තරයෙන් යමක් පිටතට ගැනීමයි. එසේ පිටතට ගැනීමේදී අප පිටතට ගත යුත්තේ අදාල දෝශ්යෝ පමණක් වද්දි එය ප්‍රවේසම් සහගත විය යුත්තේය.
මිනිසෙකු රෝගී වීමට වාත පිත්ත කඵ යන්නාවූ ත්‍රිදෝෂයෝ කෝප වී විපරීත වීම මෙන්ම වෙනත් හේතූන්ද බලපාන්නේය. අනවිණ බන්ධන විවිධාකාර වූ භූත බලවේග ආදිය මුල්කොට ඇති වන්නා වූ රෝගයන් වේ නම් ඒවාට පිළියම් යෙදිය යුත්තේ ඒවාට ගැලපෙන ලෙසින් වන අතර දේශීය චිකිත්සාවේදී බොහෝ විට මෙම චිකිත්සා ක්‍රම වේදයන් පංචකය යෙදෙනුයේ පෙර කී බලවේගාදී දොස් නිසා වූ ව්‍යාධීන් සමනය කරනු පිණිසය.
හත් අඩිය කපා ලය විරේක කිරීම ලෙසින් චිකිත්සා ක්‍රම වේදයක් පාරම්පරික වෙදැදුරන් සතුව ඇත්තේය. ලය විරේක කරනවා කියන්නෙ වමනය කරවීමට වන්නේය. හත් අඩිය කපා ලය විරේක කරවනවා යනු සංකීර්ණ ක්‍රියාවලියකි. දෙස්ස සතක් මුලින්ම කපන්නේය. දෙස්සෙන් දෙස්සට වෙනම කවි හා මන්ත්‍ර ඇත්තේය. අනතුරුව නෙළුම් මල් හතක් පොලවේ සදති. මලෙන් මලට වෙනම කවිය. මන්තරය. ඒ සියල්ල නිවරදිව නොකලොත් රෝග මුක්තිය නොලබනවා මෙන්ම වෙදනා හටද වස් එන්නේය.
නොයිදුල් පැන් මතුරා දී රෝගියා වමනය කරවීම තවත් ක්‍රමයකි. ඉරතාංගුවේ මන්තර මෙයට යොදා ගනී. එම මන්ත්‍රයෙන් මතුරා ලය විරේකය සේම බඩ විරේකයද කල හැක්කේය. බඩ විරේකයට ඇඹුල් පහ හෝ තැඹිලි ගෙඩියට ඔසු දමා ඉරතාංගුවේ මතුරා විරේක කරවන බැව් සඳහන් වේ. එසේම මැතිරූ ඔසු ආඝ්‍රහණය කර විරේකය කරවිමද කරනු ලබන්නේය.
එසේම නස්න කර්මයේදි විෂ කලාව අමෘත කලාව ගැන අනිවාර්යයෙන්ම සැලකිල්ලට ගනු ලබයි. පංච පක්ෂි ක්‍රමයේ ස්ථුල, සූක්ෂම, අති සූක්ෂම සියල්ලම මරණ අවස්ථාවෙන් ඉවත් කරන්නේය. කලාව ගැන කියවෙන්නෙ චන්ද්‍ර ගමන මුල් කරමින් වන අතර චන්ද්‍රයා සෙමට අධිපති ග්‍රහයා වන්නා සේම නස්‍ය කර්ම විධියෙන් හිසේ පෙනහැල්ලේ ඇති සෙම් කොටස් ඉවත් කිරීම සිදු කරන නිසා චන්ද්‍රයාගේ කලාව නොසලකා නස්න කිරීම හෙළ වෙදැදුරන් නොකරන්නේය.
වස්ති කිරීමද එලෙසින්ම වන්නේය. වස්ති ප්‍රදේශාශ්‍රිතව මරු නිල ඇත්තේය. එහෙයින්ම මරු කලාව ගැන අවධානය මෙන්ම අනිවාර්යය මර යෝගද හරින්නේය. දිනයේ සන්ධි නිමේශ දෙක යනු දෙවේල මරු යෝග වන්නා හෙයින් එයද අත් හරින්නේය. එම යෝගය ඉංග්‍රීසි මිනිට්ටු 48 කි. එනම් සිංහල පැය ද්විත්වයකි. එනම් මරු යෝග සන්ධි වේලාවට සිංහල පැයක් පෙර හා පසු ලෙසින් හරිමින් ය.
වට අට කොන්වල ඇවිද ගොසිල්ලා
යට මුළු සක්වල නොසිට වරෙල්ලා
වට අටවිසි මුණි අණ රැකපල්ලා
අට කොණ හිර නැත පුදට වරෙල්ලා
සොදුරේ මහ බල අසුර රජුන්නේ
අඳුරේ ගිණි ජල ලෙසින් පෙනෙන්නේ
සිදුරේ සිට මම දෙන පුද ගන්නේ
ඉඳුරේ රීරා මෙරඟට එන්නේ
හෙළ වෙදකමේ රක්ත මෝක්ෂණ හෙවත් ලේ හැරිමේ ක්‍රියාවලිය විස්මය ජනකය. ලබු කබල් තබා හෝ මී හරක් අගින් නොවේ නම් පූඩාවන්ගෙන් නොව විනයක් වන්නා වූ බලවේගයකටම අදාල ස්ථානය කැප කර එම දූෂිත රුධිරය ඉවත් කරන්නේය. රීරි යකා මිනිසාගේ ලේ ධාතුවට වින කරතියි කියයි. එහෙව් එකාම ගෙන්වා ඒකා ලවාම විස ලේ ඉවත් කරන්නේය. එය භයානකැයි කිව හැක. එහෙත් මහා දෙවියන්ගේ අණට යටත් කොට ගෙන්වන යකාට අවසරය ඇත්තේ ව්‍යාධියට පත් වූ කොටස පමණක්මය. එහෙයින් ඒකා අදාල ලේ ටික පමණක් කැප ගෙන ඉවත්ව යති. අතීත හෙළ වෙදැදුරන්ගේ මේ ක්‍රමය විස්මය ජනකය. එහෙත් කුඩා හෝ වරදකට ඉඩවරයක් නොතිබිය යුත්තේය. සීරු මාරුවට කල යුතු කාරියකි. එහෙත් එදා සිටි හෙළ වෙදැදුරන්ට එම කාරිය අරුමයක් වී නොමැත්තේය.