මහා ගඩුරාජ තෛලය



දෙහි      මුලේ පොතු              කහට පොතු
දොඩම්   මුලේ පොතු              මිල්ල මුල් 
නාරං     මුලේ  පොතු             හීන් දදකීරිය මුල් 
කොහොඹ මුලේ පොතු         ඉය මුල්
නික       මුලේ පොතු              දෑත්ත මුල් 
වරා        මුලේ පොතු              මාර මුල්
පඹුරු     මුලේ පොතු              කුරුඳු මුල්
යක්වනස්ස මුලේ පොතු        කරඳ මුල්
අංකෙන්ද මුලේ පොතු            කුඩුමිරිස්ස මුල්
ඔළිඳ      මුලේ පොතු               කුඹුරු මුල් 
යක්බේරිය මුලේ පොතු          අඹ ගහේ පොතු
තුඹ        මුලේ පොතු               සූරිය පොතු
අමුක්කරා මුලේ පොතු           බලුදිව වැලේ මුල්
ගම්මිරිස්  මුලේ පොතු            රත්නෙටොල් මුල්
කසාඹිලියා මුලේ පොතු          කාමරංකා මුල්
කැප්පෙටියා මුලේ පොතු        ඇසළ පොතු
බටු ගහේ පොතු                       හාතාවාරිය අල
මදුරුතලා කොල                     බටු ගහේ මුල් 
දොඩම් පනා කොළ                   තිබ්බටු මුල් 
කිරි අඟුන කොළ                      ඉරමුසු මුල් 
බුලත් මුලේ පොතු   

මේවා සමසේ රැගෙන කොටා සැලක ලා වතුර නැලි 16ක් වත්කර 4ට සිඳුවා බා රැගෙන පහත සදහන් කිරිවර්ග කෂායට දමනු

දළුක් කිරි ,වරාකිරි ,රුක් අත්තන කිරි, නවහන්දි කිරි ,සීනුක් කිරි ,එළකිරි

මේවා පත බාගය බැගින් කෂායට එක්කර ලිපතබා පහත තෙල් වර්ග එක්කරනු

මීතෙල් ,එඬරු තෙල් ,කොහොඹ තෙල් ,පොල්තෙල්

මදක් රත් වෙන්න හැර මේ ඖෂධ කල්ක ලෙස චූර්ණය කර යොදනු .

තිප්පිලි  අසමෝදගම් දේදුරු කරාබුනැටි වසාවාසි ගල්මද ගල්නහර මානෙල් අල සතකුප්ප සවිඳ ලුනු හිරියල් පෙරුම්කායම් සාදිලිංගම් පල්මාණික්කම් හීන් අරත්ත කටුකරෝසන ගලිස් සුදුළූණු කැකුණ මල් දුම්මල හොර මල් මී ඉටි

මෙවා කලඳ බැගින් ඇල්වතුරෙන් අඹරා දමනු.

පල්මාණික්කම් වළදක් ලිප තබා ලා නිල් පැහැ වනතුරු රත් කර බෙහෙතට යොදනු විෂ නැසේ

රත්නෙටොල් මුල් චූර්ණය ඇල්වතුරේ ලා අව්වෙ කකාරා ගන්න ශෝධනය වේ

 වරාකිරි අව්වේ කකාරා ගන්න විෂ නැසේ 

දළුක් කිරි සියඹලා කොළ කලං 3ක් කොටා මිරීකා ගත් යුෂ රෙදි කඩකින් පෙරා දළුක් කිරි පත බාගය එක්කර අව්වෙ කකාරනු විෂ නැසේ

ඉහත සියල්ල එක්කර කකාරා තෙල සිඳුවා කල්කය ඉටි පදමට බා පෙරා නිවා භාවිතා කරනු .

 ගුණාගුණ : වට්ටෝරුවේ එන පැරණි බසින්ම මෙසේය

මෙසේ කකාරා මුදුපාකය දැන කල්කය ඉටිසේ වුන කලටා
ලසේ නොමව තෙල පෙරලා ඇරගෙන බෝතල්වල අසුරා සතුටා
විසේ යන්න දස පිළිකා ගඩුවල ගාපන් කිසියම් සැක නොකොටා
ඇසේද මෙහි නම පෙරපඬි තැබුවේ ගඩු තෛලය විසිතුරු කුමටා

විසි මේහෙන් එන සියලුම ඉදිමුම් ලේ රත ආදිය නැති වේවී
විසි මේහෙන් එන සියලුම වණ සහා ඔඩුවණ එඩි සිඳ බිඳ යාවී
විසි මේහෙන් වූ කොර පිළි සමගින් නහර ගැටද මකබා වේවී
විසි මෙහෙන් වූ සියලු බගන්දර ලේ දොස් ආදිය නැති වේවී

මුතුරු මගේ එන ගඩුවණ පිළිකා හැම දුරලයි
මුතුරු මගේ වැගිරෙන කුණුසැරව දැවිලි දුරලයි
මුතුරු මගේ ඇති සෝපද තද ඉදිමුම් දුරලයි
මුතුරු මගේ ඇති සියලුම රෝදුක් මින් දුරලයි

කොඳුපිට පිළිකා හටගත් සතහට ඇති දුක මෙතෙකැයි නැත පමණා
එමවිට වෙදදුරු මෙම තෙල ගාමින් තැවිලිද කරනුය වෙයි සමනා
සතහට නෙකදුක් ලැබුමට බල ඇති බගන්දරා වණ හැදුන තැනා
සිතතුට වඩවන මේ තෙල ඊටම ගාපන් වෙදැදුරු ගුණද වනා

අතපය කොරවී වකුටු වෙලා වද නිරතුරුවම නෙකදුක් තැවුලී
අතපය නහරද තදකරවාලා බියකර දුක් සහා වෙයි දැවිලි
අතපය සන්දිද බලු ඔලු ලෙස වී ගෙඩි බැදලා කරවයි තැවුලී
අතපය පණ නැති සියලුම සතහට මේ තෙල ගාලා කර තැවිලි

දස පිළිකා ගෙඩි සෑදී සතහට අපමණ දුක් සකි ගෙන දේවී
දස පිළි නියපොතු පැසවා වැටෙමින් නොයෙක් නිගාදුක් වද වේවී
දස පිළිකා ගෙඩි පිපිරී වණවී නිති පූයා එහි වගිරේ වී
දස පිළිකෙන් වන සියලුම උවදුරු නැතිවීමට මෙය බල වේවී

ඇගේ කුෂ්ඨ දද පිළිකා ගඩු  නියත
සගේ මෙ ඔසු බලයෙන් දුරලනු සමත
දඟේ නොකර කීවට මම මේ බෙහෙත
මගේ ඇදුරු මාහට බනිනවා ඇත