දෙසඳුන් කල්කය වාරණ කරනා - රහස කිමද අද බටහිර වෙදනා



ඔබ විවාහකයෙක් නම් ඔබේ ඊළඟ අරමුණ සුන්දර දරු සිඟිත්තෙකු කැදැල්ලට කැඳවා ගෙන ඒම. ඒක එහෙම නම් ඔබට මේ ලිපිය වැදගත්. ඔබ ඔබේ දරුවා හදා වඩා ගන්නේ කාගේ වුවමනාවටද? අතීතයේදී නම් ඔබේ දරුවා හදාගන්න ඔබට උපදෙස් අනුශාසනා දෙන්නේ ඔබ දෙපළගේ මව්වරු හෝ වැඩිමහල් සොයුරියන්. නාවන හැටි, කිරි පොවන හැටි, බෙහෙත් දෙන හැටි, කෑම බීම සකසන විදිය ආදිය ගැන දැන හුරුවෙන්, කළ හුරුවෙන් උපදෙස් ලබාදුන්නේ ඒ අය. ඒත් අද දවස වෙද්දි ඒ කාර්යය පැවරිලා තියෙන්නේ පවුල් සෞඛ්‍ය සේවිකාවට හෝ වෛද්‍යවරයාට.අද දවසේ බටහිර වෛද්‍යවරු කියන්නේ සමාගම් ගණනාවක අලෙවි නියෝජිතයින්. දරුවාට දෙන යෝගට් එකේ ඉඳල කිරිපිටි වර්ගයේ විටමින් වර්ගයේ වෙලඳ නාමය තිරණය කරන්නේ ඔවුන්. එතැනදී බටහිර වෛද්‍යවරුන් බොහොමයක් තමන්ගේ වෘත්තීය ගරුත්වය පැත්තකට දාලා තමන්ගේ පාරිභෝගිකයින් (රෝගීන් කියන්න බැරි ඔවුන්ගෙ තියෙන්නේ වාණිජ අරමුණක් නිසා) අවස්ථානුකූලව තෘප්තිමත් කරලා දිගුකාලීන වෙලඳපොලක් තනාගන්නවා. ඒ වෙනුවෙන් ඔවුන්ට ලැබෙන දහසින් බැඳි පියළි වලින් තමන්ගේ ප්‍රභාව වර්ධනය කරගෙන ඒකම යළි යළිත් පාවිච්චි කරන්නේ තමන්ගේ වෙළඳ ආයතන පෝෂණය කරන්න. වර්තමාන ක්‍රමවේදය අනුව ගර්භීණී භාවය භයානක අවස්ථාවක් හැටියට හඳුන්වලා දීලා ඉක්මන් ලියාපදිංචි වීම්, පවුල් සෞඛ්‍ය සේවිකාව දැනුම්වත් කිරීම්, සායනයට සහභාගී වීම් ආදිය වහාම ක්‍රියාත්මකකළ යුතු දේවල් හැටියට දක්වලා ආරම්භයේ සිටම වෛද්‍යවරයාගේ අත්අඩංගුවට ගැබිණී මවව පත් කර ගන්නවා. එතැන් සිට නියම කරන යකඩ පෙත්තේ ඉඳල දරුවට මාස හයක් හතක් පහු වෙනකම් මේ අත්අඩංගුව ඒ විදියටම ක්‍රියාත්මකයි. (පෞද්ලිකව වෙදහාමිනේ නම් යකඩ පෙති බිව්වෙවත්, වෛද්‍යවරු චැනල් කළේ වත් , ස්කෑන් කලේ වත් නෑ. හැබැයි නිසි අවබෝධයෙන් තොරව ඔබට එහෙම නොකර ඉන්න යෝජනා කරන්නෙත් නෑ.) දරුවා ලැබුණාට පස්සේ කායම් හොද්ද හදන තැන ඉඳල, වෙනිවැල්ගැට තම්බා නෑවීම්, රන් කිරි කට ගෑම්, ගම්මිරිස් පිඹීම්, රත කල්කය දීම් සමහර තැන් වල දෙමව් පිය වැඩිහිටි අවබෝධයෙන් අද දක්වා කෙරුණත් ඒවා කෙරෙන්නේ වෛද්‍යවරුන්ට, පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට රහසේ. මොකද දැනගත්තොත් දහසකුත් ප්‍රශ්ණ. සායනයෙදි පසිද්ධියේ බැණ වැදීම් දක්වා මේ තත්වය උඩු දුවන තත්වයක් තමා අද වන විට තියෙන්නේ. (හැබැයි සිංහල අපි අපේ සාම්ප්‍රදායික වත් පිළිවෙත් පහත් කරල මඟ ඇරල ගියාට දෙමළ ජනතාව මොන ප්‍රශ්ණ මැද වුණත් තම සාම්ප්‍රදායික වත් පිළිවෙත් නවජාත බිළිඳුන් වෙනුවෙන් අනිවාර්යයෙන් කරන්න එඩිතරයි.) රජයේ සායන වලින් බැහැරව පෞද්ගලික චැනල් වෛද්‍යවරයාගෙන් පවා මේ වත් පිළිවෙත් කරන්නද ඇහුවොත් “ඇයි ඒවා දෙන්නේ.. අපේ බෙහෙත් හොඳ නැද්ද?“ “ඕවා පිරිසිදුව හදපුවා නොවේ... ගල්කුඩු හිටන් තියෙනවා“ “ළමයට අසනීපයක් නෑනේ... මොනවටද ඒවා දෙන්නේ“ “ඕවා පරණ කාලෙ වැඩනෙ“ වගේ සෘණාත්මක ප්‍රතිචාර තමා ලැබෙන්නේ.

අද දවසේ වෙදහාමිනේ සාකච්ඡා කරන්න හිතාගෙන ඉන්නේ කුඩා දරුවන්ට දෙන රත කල්කය ගැන. රත කල්කය කියන්නේ මොකද්ද? ඒක වැදගත් වෙන්නේ ඇයි? දිය යුත්තේ කොපමණ මාත්‍රාවකින්ද? වගේ දේවල් තමා වෙද හාමිනේ මෙම ලිපියෙන් සාකච්ඡා කරන්න හිතාගෙන ඉන්නේ. රත කල්කයට දෙසඳුන් කල්කය කියලත් කියනවා. එහෙම කියන්නේ රත් හඳුන් හා සුදු හඳුන් කියන දෙවර්ගයම මෙම කල්කය සැදීමට වැඩි ප්‍රතිශතයකින් භාවිත කරන නිසා. ඊට අමතරව කොල්ලු, වදකහ, වැල්මී, සහිඳ ලුණු හා දෙහි යුෂ විවිධ අනුපාත වලින් යොදාගෙන නිශ්චිත පියවර ගණනාවක් ක්‍රමිකව පසුකරලා තමා මේ කල්කය හදන්නේ. (වෙදහාමිනේ මේ ක්‍රමවේදය පියවරෙන් පියවරට විස්තර කරන්න දැනගත්තත් මෙවන් පොදු ලිපියකින් එවැනි හෙළි කිරීම් කරල බහුජාතික සමගම් හොරුන්ට වට්ටෝරු දන්දීලා අපේ දේවල් අහිමි කර ගන්න උවමනාවක් නැති නිසා එහෙම කරන්නේ නැ. ) කාලෙකට කලින් ගමේ වෙදගෙදරක දි වුණත් අද දවසෙදි මහා පරිමාණ නිෂ්පාදනාගාර වල වුණත් රත කල්කය හැදෙන්නේ අනෙක් කල්ක වලට වඩා විශේෂ අවධානයකින්. ඒකට හේතුව තමා රත කල්කය නවජාත(අළුත උපන්) බිළිඳුන් සඳහාත් භාවිතා කරන ඖෂධයක් වීම. හැබැයි රත කල්කය ලබාදෙන්නේ නවජාත බිළිඳුන් සඳහා පමණක් නොවෙයි. තරමක් වැඩුණු දරුවන්ගේ ඉඳලා වැඩැහිටියන් දක්වාම රත කල්කය දෙන්න පුළුවන්. රතකල්කය සැදීමේදි යොදාගන්නා ඖෂධ සියුම්ව අඹරනවා. මේ නිසා තමා බටහිර වෛද්‍ය වරු “ඕවා පිරිසිදුව හදපුවා නොවේ... ගල්කුඩු හිටන් තියෙනවා“ යන චෝදනාව රත කල්කයට එරෙහිව ගේන්නේ. හැබැයි අද දවසෙදි අපි කන හාල් ඇටයක් ගානේ ආසනික් තියෙද්දි, කන එළවළුවක් ගානේ තව විවිධ රසායන බැර ලෝහ තියෙද්දි, මාළු කෑල්ලක ෆෝමලින් තියෙද්දි මේ කිසි දෙයක් මව් කිරි හරහා බිළිඳු ශරීරයට සංක්‍රමණය නොවෙනවා කියලා බටහිර වෛද්‍යවරු හිතනවාද? එහෙම තියෙද්දි ගලේ අඹරලා හදන රතකල්කේ කන්හැන්දක ගල්කුඩු හානිකර විදියට තියෙන්න පුළුවන්ද? අනෙක ගෙදරක මිරිස් ගලක් තියෙන ඕනෑම කෙනෙක් දන්නවා, හැමදාම භාවිතා කරන මිරිස් ගලක් අඟල් කාලක් ගෙවෙන්න අවුරුදු දහයක් දොළහක් ගතවෙනවා. එහෙම නම් පැයක් දෙකක් බෙහෙත් අඹරද්දි ගෙවෙන්නේ කොච්චර කුඩා කොටසක්ද කියලා. බටහිර වෛද්‍යවරු ආඩම්බරයෙන් නිර්දෙශ කරන ලෝක ප්‍රකට වෙළඳ නාම සහිත නිෂ්පාදන වල ප්‍රමිතිය ගැන අදටත් ප්‍රශ්ණ තියෙනවා. ඒත් අලංකාර දැන්වීම් කරණයෙන් නිලංකාර වෙලා අපේ දේට ඇඟිල්ල දිගුකරන බටහිර වෛද්‍යවරුත් නටන මොණරුන් වගේ. ලස්සන ඉස්සරහ විතරයි.

නියමිත බර ඇතිව වෙනත් සංකූලතා කිසිත් නැති නවජාත බිළිඳෙකුට දින 21ක් සම්පූර්ණ වූ පසු රතකල්කය දීම ආරම්භ කළ හැකියි. ඒ සඳහා සුදුසුකම් සහිත දේශීය වෛද්‍යවරයෙකු වෙත දරුවා ඉදිරිපත් කර මාත්‍රාව හා අවස්ථා ගණන තිරණය කළ හැකියි. වෛද්‍යවරයෙකු ගාවට නොගිහින් සමහර අවස්ථා වල නිවසේදීම රත කල්කය දෙන අවස්ථාත් තියෙනවා. නමුත් වෙදහාමිනේ කියන්නේ නම් දරුවා දෛශීය වෛද්‍යවරයෙකු ‍වෙත ඉදිරිපත් කිරීම වඩා සුදුසු බවයි. පිළිගත් දේශීය වෛද්‍යවරයෙකු යෝජනා කරන ඕනෑම නිෂ්පාදකයෙකුගේ රතකල්කය ඇසුරුමක් දරුවා වෙනුවෙන් භාවිතා කරන්න පසුබට වෙන්න එපා. මොකද සෑම ආයුර්වේද නිෂ්පාදකයෙකම නියම ප්‍රමිතියෙන් මේ දේ සකසනවා. සාමාන්‍යෙයන් රත කල්කය ඇසුරුමක් ග්‍රෑම් 50ක්. මෙය වසර දෙකක පමණ කල් ඉකුත්වීමේ කාලයකින් යුක්තයි. ගෙදර ගෙන ආ පසුව හොඳින් සෝදා අව්වේ වියලාගත් වැසුම් සහිත භාජනයක රඳවා තබා වෛද්‍ය උපදෙස් මත නිසි කාල පරාසයකින් භාවිතයට ගැනීම සුදුසුයි. දින 21 බිළිඳෙකුට නම් නිර්දේශ කරන්නේ කොත්තමල්ලි ඇටයෙන් භාගයක තරම් ප්‍රමාණයක්. සංකූලතා සහිත දරුවෙක් නම් ටික දිනක් පමා කරලා සංකූලතා පහවූ පසු තමා රත කල්කය භාවිතා කරන්නේ. “ළමයට අසනීපයක් නෑනේ... මොනවටද ඒවා දෙන්නේ“ “ඕවා පරණ කාලෙ වැඩනෙ“ කියලා බටහිර වෛද්‍යවරු තර්ක කරන්නේ ඔය කාරණය තමා. බටහිර වෛද්‍ය ක්‍රමයෙදි රෝගයකට ප්‍රතිකාර ලෙස ඖෂධ යොදාගන්නවා මිසෙක රෝග බෝවීම වැලැක්වීමට (එන්නත් හා පෝලියෝ බින්දු හැර) වෙනත් ඖෂධ භාවිතයක් නැහැ. දරුවෙකු ස්වභාවිකව බිහිවීමේදී ප්‍රසව මාර්ගයේදී සහ මුල්ම කිරි වල අඩංගු ප්‍රතිශක්ති කරණ ගුණයන්ගෙන් පසු ආයුර්වේදයෙන් නිර්දේශ කරන පළමු ප්‍රතිශක්තීකරන ඖෂධය තමා රත කල්කය. මේකෛන් වෙන්නේ ළදරු අවධියේ නිතර මතුවෙන ජීර්ණ අපහසුතා, උණ ගැනීම්, සමේ රෝග,රුධිර ගත විෂ හා සෙම ආදිය සමනය කිරීම. නිකමට මාස 6ට අඩු දරුවෙක් ඉන්න මවක් නම් ඔබ ඉහත හේතු නිසා (මතුවන රෝග ලක්ෂණ වන බඩ පිපුම, අජීර්ණය, කිරිවමනය, මළ බද්ධය, හමේ බිබිළි, සෙම, හෙම්බිරිස්සාව, තුවාල, වණ, උණ, ඇස්වල කබ.....)කී වරක් දරු පැටියා වෛද්‍යවරයා ළඟට රැගෙන යනවාද කියලා. ඉතින් රත කල්කය නිසි ලෙස භාවිතයෙන් සිද්ධ වෙන්නේ මෙවැනි රෝග සඳහා ප්‍රතිකාර ගැනීමට අවස්ථා අහිමි වීම. ඉතින් මොන බටහිර වෛද්‍යවරයාද කැමති තමන්ගේ පාරිභෝගිකයෙක් අඩු වීමට. මේ නිසා තමා ඔවුන් “ළමයට අසනීපයක් නෑනේ... මොනවටද ඒවා දෙන්නේ“ “ඕවා පරණ කාලෙ වැඩනෙ“ යැයි පවසමින් මේක ලබාදීම වැලැක්වීමට උත්සහ කරන්නේ. රත කල්කය දෙන මාත්‍රාව සඳහන් කළත් තාම දෙන විදිය කිව්වෙ නෑනේ. රත කල්කය විතරක් නෙවෙයි වෙනත් ඕනෑම දෙයක් නවජාත දරුවෙකුට ලබාදෙද්දි සැලකිලිමත් වෙන්න ඕන ප්‍රධානම දේ පිරිසිදු කම. මව් කිරී දීමේදී පවා ඒක වැදගත්. මේ පිරිසිදු කම ගැන මව්වරු නොසිතීම නිසා දැන් මාතෘ සායන වලදි දරුවාට මාස6ක් දක්වා වතුර වත් පොවන්න එපා කියලා කියන්න තරම් වෛද්‍යවරු පෙළඹිලා. මුලින්ම නටන වතුරෙන් සේදූ තේ හැන්දකට මව් කිරි බිංදු 03-04ක් දොවාගෙන ඊට රත කල්කය නිර්දේශිත ප්‍රමාණය දියකරගන්න. එය කලින් සෝදා වේලාගත් කපුරෙද්දකින් නැවත හැන්දට පෙරාගෙන ලැබෙන ද්‍රාවණය දරුවාගේ දිවේ ගා වහාම මව් කිරි දෙන්න. මේ මාස තුනට වඩා අඩු දරුවන්ට රත කල්කය දෙන ක්‍රමය.ඊට වැඩි දරුවන්ට රතකල්ක ප්‍රමාණය කෙළින්ම දිවේ තවරා මව් කිරි දිය හැකියි. මව් කිරි වෙනුවට කොත්තමල්ලි තැම්බූ වතුරත් භාවිතා කළ හැකියි.

ඔන්න ඉතින් රත කල්කය ගැන කිව යුතු සියළු දේ කියලා ඉවරයි. හැබැයි ඉතින් පිළිගත වෛද්‍යවරයෙකු නිර්දේශ කරපු ප්‍රමාණයට වඩා අඩු මාත්‍රාවක්, අඩු වාර ගණනක් භාවිතා කරලා නිසි ප්‍රත්ඵල බලාපොරොත්තු වෙන්න එපා. රත කල්කය විතරක් නෙවෙයි මොනම ඖෂධයක් වත් නිසි මාත්‍රාවට වඩා අඩුවෙන් භාවිතා කරන්න එපා. එතකොට ලැබෙන සහනය තාවකාලිකයි. ඒ වගේම අපේ උරුමය, අපේ අයිතිය අපේ අවශයතා වෙනුවෙන් භාවිතා කරන්න එඩිතර වන්න. නිදහස් සෞඛ්‍ය සේවය කියල දෙයක් අපිට ලැබුණට ඒක ජාත්‍යන්තර බූවල්ලෙකුගේ දළ දඩු ග්‍රහණයට නතුවෙලා ඉවරයි. ඒක තුළ සැළසුම් සකස් වෙන්නේ අපේ ජනතාවට අවශ්‍ය විදියට නොවෙයි. වෙනත් විදේශ බලවේග වලට අවශ්‍ය විදියට. එහෙම සැලසුම් සකස් කරල ක්‍රියාත්මක කරන ගමන් අනෙක් පසින් වෙනත් මානයන්ගෙන් අපේ උරුමය එයාලගෙ කරගන්න සියුම් උත්සාහයක් ගන්නවා. එහෙම ගන්න බැරිනම් ලොකු වටිනාකමක් පෙන්වා විනාශ කිරීමක් දක්වා වුණත් යන්න ඒ බලවේග ක්‍රියාත්මකයි. කබර හූනන්, වල්ලාපට්ටා හා රතු කරපිංචා හරහා ක්‍රියාත්මක වෙන්නේ ඒ දේ තමා. ඉතින් හිතන්න, අපිම අපේ දේ වෙනුවෙන් පෙනී සිට රැක ගන්නවාද? නැතිනම් අනෙකෙකුගේ වුවමනාවට අපි අපේ අධ්‍යාත්මය දිය කර ගන්නවාද කියා? වෙදහාමිනේගේ ඩිස්පැන්සරිය ඉස්සරහ රෝගීන් පෝලිම් නොගැසෙන තරමට වෙදහාමිනේ සතුටුයි. එතකොට වෙදහාමිනේට හිතෙන්නේ අනේ මට ආදායම නැහැ කියා නොවෙයි. අද මේ රටේ ගොඩක් දෙනා සුවෙන් හා සතුටෙන් ඇති කියලයි. ඒත් හවස් වරුවට හන්දි හන්දි ගානේ බටහිර දොස්තර වරු ගාව හුස්ම ගන්න බැරි දරු පැටව් වඩාගෙන, වේදනාවෙන් ඉකි ගහන දරු පැටව් වඩාගෙන දොස්තරල එනකම් රැස්කකා බලාගෙන ඉන්න අම්මලාගෙ මලානික මුහුණු දකිද්දි ඔවුනගේ අනවබෝධය ගැන සියුම් කණගාටුවක් වෙද හාමිනේගේ ශරීරය පුරා විදුලියක් වගේ දුවනවා. එතකොට වෙදහාමිනේට හිතෙන්නේ “අනේ මගේ දරු පැටව් දෙන්නා කොච්චර වාසනාවන්තද“ කියලා මිසෙක වෙන දෙයක් නොවෙයි