ප්‍රාණ ජීව තෛලය

මෙම ලිපිය සැපයීමට අදහස් කළේ ‘ප්‍රාණ ජීව’ තෙල හා ‘ප්‍රාණ ජීව ඖෂධය’ ගැන ජනතාව අතර ඇති අවබෝධය තවදුරටත් පැහැදිලි කිරීමටය.

‘ප්‍රාණ ජීව තෙල’ යනු දේශීය වෙදකමේ ඇති අති ප්‍රබලම ‘තෛල රාජයා’ යනුවෙන් සඳහන් කිරීම නිවැරදිය යනු මගේ හැඟීමයි. මා එසේ කියන්නේ වසර පණස් දෙකක් වැනි කාලයක් තිස්සේ එයින් රෝගීන් සුවපත් කිරීමෙන් ලද විෂ්මිත ප්‍රතිඵල අනුවය. දේශීය පාරම්පරික වෙද පොත්වල (පුස්කොළ පොත්වල) සහ ‘සෙනෙහ ශතකය’ හෙවත් තෙල් බෙහෙත් පොත නමැති ග්‍රන්ථයෙහිද සඳහන් මෙම තෛලය සඳහා:

වරා සසඳ යකවනසුද වේලා කුබෙර පඩුරු තුන්පත් කුරුදු ත්
නැරා ද කුඩුමිරිසත් වම්මුතු ගෙන ඉරිවේරිය සහ මං ඇපලත්
පුරා මෙ ඔසු සමගින් තව සිශ්‍රැක්‍රිඳි කිරි අඟුනද ඉරමුසු ගත්
තිරා ලෙසින් ගෙන මදුරුතලා සහ කරද බැබිල අනොදා කොසඹත්

යනුවෙන් ඔසු ශාක මුල් වර්ග තිස් හතක් පළම බැගින්ද.,

මීට කල්කයට සදුන් සුවඳ හොට ත්‍රිවර්ගත් දුරුදෙකම ගෙනා
ඊටම මෝදක මදුරු තුෂ්ට සහ ධාත්‍රිකා ගන්ධක රැගෙ නා
ලිංගං අත්කෑලද හිරියල් සහ කොතඹුරු සතකුප්පයද ගෙනා
මදුක කොරා සානිද කරුවා සහ කඩොල් ද උළුවා අරිස් ගෙනා

යනුවෙන් සරක්කු වර්ග තිස් දෙකක් කලං 3 බැගින් ද ,
තිපල් සහ වියලි ඉඟුරු පත බැගින් ද,
ලසුණු දෙපතක් ද,
තලතෙල්,
මීතෙල්,
එඬරු තෙල්,
කොහොඹ තෙල් සහ එළඟිතෙල් නැලිය බැගින් ද යොදාගනු ලැබේ.

ඉහත කී මුල් වර්ග ඉතා නිවැරදි ලෙස ගතයුතු ස්ථානවලින්ම ගෙන පිරිසිදු කර සිහින්ව කපා වනෙහි ලා තරමක් කොටා ගත යුතුය.

ඉන් පසු එම ඔසු සැලක ලා, දිය දෝනයක් දමා, උඩින් ද මැටි භාජනයක් මුනින් නමා වසා සුලං නොවදින සේ කඩ වැටි බැඳ සතියක් කාඩි වීමට තැබිය යුතුය. ඉන් පසු සිව් නැලියක් ශේෂ වන සේ සිදුවා පෙරා ගත යුතුය. ඉක්බිති ඉහතින් සඳහන් කළ දුරු වර්ග ද අඹරාගෙන එම සැලට බහා ඉහතකී පස් තෙල් ද දමා ගොම මැටි ගාන ලද බිමක ලිප බැඳ සැලිය ඒ මත තබා සිව් කොණ මල්, බුලත් තටු හතරක් පුදා පහන් දල්වා, උඩු වියන් බැඳ, මල් එල්වා, වටේ කන්‍ය නූල් ඇද ආරක්‍ෂා කර පිරිත් සජ්ඣායනා කරමින් මද ගින්නේ සත් දවසක් තෙල සිඳිය යුතුය.

වල් ඖෂධ වර්ග කාඩිය දැමීම තෙල් සැලිය ලිප තැබීම තෙල පදම් කර බිමට බෑම යන කරුණු සියල්ලක්ම ශුභ දිනය, ශුභ හෝරාව, ශුභ දිසාව අනුව රාහු කාලය මගහරවා සිදු කිරීමට විශේෂයෙන් වගබලාගත යුතුය. ඉරිදා උදයේ තෙල සමපාතය වූ තැන ඉදුරු දෙස බලා ඉදුරු දෙසටම තෙල් සැලිය බිමට බාගත යුතුය. ඉරිදා උදයේ දින හත සම්පූර්ණ වන පරිදි තෙල් සිඳීම ආරම්භ කළ යුතුයි. තෙල බිමට බාන තුරුම පිරිත් කීම නතර නොකළ යුතුය.

ප්‍රාණජීව තෙල සිඳීමේදී ඊට බාධා කරන භූත බලවේග ඇති නිසා පිරිත් සජ්ඣායනා කිරීම සහ සෙසු කටයුතු ඉතා පිරිසිදුව නිසි පරිදි කළ යුතුය. එසේ නොවුණ කළ භූතයන්ට ඉඩක් ලැබුණ විට ලිප්ගල් පෙරලීම, සැලිය පිපිරීම, තෙල සිඳින තැනැත්තා ක්ලාන්ත වීම, තෙල කරවීම වැනි දේ සිදුවේ..

මෙහි ගුණ........

ප්‍රාණ ජීව තෙල ..නස්න, පාන, ගැල්වීම යන කරුණු තුන සඳහාම යෝග්‍යය.
ඇඟ වෙව්ලුම්,
දාහය,
ඌෂ්ණය ගිනියම,
හතිකැක්කුම නොයෙක් දෙඩවිලි,
සීනෙන් බියවීම,
දහඅටසන්නි,
කෝල,
තිගැස්සුම්,
තුන්දොස් ඔල්මාදය,
වලිප්පු,
අත් පා හිරිවැටීම ඇවිලීම,
සන්දි රුජා,
ගත දිරාපත් වීම,
ඉදිමීම,
ශ්‍රෝතිත,
රදය,
අඟනුන්ට බත බුලතට කළ වින වැල් පැන්නුම්, ඉරි පැන්නුම් ආදිය සඳහා නොවරදින ගුණය මෙම තෙලින් ලැබෙන අතර අංගන් 4448 ක් නැවතිය හැකි බලය ඇත.

මෙම තෙල බිංදු කීපයක් ගිනි අඟුරුවලට දමා යක්‍ෂ දෝස ඇතියවුන්ගේ මූණට දුම් ඇල්ලුවොත්, යකා නම කියා ප්‍රලය වී නටයි.

ගතගල්වා පිරිමැද පැය කීපයකට පසු නස්නාරං කොළ, පඩුරු කොළ, කීකිරිදිය, අත්තනකොළ යන වර්ගයන් තම්බා එම දියෙන් නෑමෙන් අලුගෝමර, කුෂ්ඨ දහඅට, හොරි සහ කරප්පන් දුරුවෙන අතර මීපැණි මුසුව ගල්වා එපරිදිම නෑවොත් ගජචර්මය (අලි රෝගය අලින්ගේ වෙත් සම පිපිරීම හා ගොරෝසු වීම) යන රෝගය සුව වෙයි.

ගලක්‍රා රෝගයට හෙවත් උගුර හිරවීමේ රෝගයට. ඉඟුරු යුෂ සමග ද, ගුල්ම රෝගයට සපු පොතු යුෂ සමග ද දීමෙන් මහඟු ගුණ ලැබේ.

පොළොන් විෂට බටු, කරවිල, යුෂින්ද නාග විෂට කුප්පමේණිය යුෂින්ද බොන්නට දී එයින් නස්න කිරීමෙන් එකී විෂ දුරුවෙයි.

දහස් ගණන් සර්ප විෂට සුදුළුෑනු යුෂ, අමු ඉඟුරු යුෂ සහ දෙහි ඇඹුල් සමග නස්න කර එයින්ම දෂ්ට කළ මුඛයේ (ස්ථානයේ) ගෑමෙන් ද බෙහෙත් කැඳට මිශ්‍ර කර බොන්නට දීමෙන්ද සියලු සර්ප විෂ දුරුවෙයි.

මීට අමතරව තද හිසරදය හා පපුවේ සෙම ගතිය ඇති විට හිසේ, නළල දෙපස සහ උරපතු යට පිටේ ගල්වා නස්න කිරීමෙන් මහඟු ගුණයක් ලැබේ.

කණේ සිට මොලය දක්වා වැවී ඇති ‘යුෂ්ටේකීය’ නාලයේ සෙම හිරවීමෙන් කණ කැක්කුම ඇති විටද ඉහත කී පරිදි තෙල් ගල්වා නස්න කිරීමෙන් ක්‍ෂණික සුවය ලැබේ.

යමෙකු මිය ගියොත් විනාඩි තුනක් ඇතුළත ප්‍රාණජීව තෙල හිස් මුදුනේ සහ උර පතු යට පිටේ ගල්වා නාසය තුළ ගෑමෙන් යළි පණ ලැබෙන බව අත්දැකීමෙන්ම නිර්භයව පවසමි.

නමන්ට බැරි හන්දිවල මෙම තෙල් උණු වතුරේ තියා රත්කර ගෑමෙන් එම සන්දිවල තද ගතිය දුරු වී නැවීමට හැකි වෙයි.

නිවැරදිව තෙල සිද ගැනිමේදි ඒ සඳහා අවශ්‍ය වන සස්සද, වේලා, කුඹුරු, තුන්පත් කුරුදු, කුඩුමිරිස, කලාදුරු, ඉරිවේරිය, කිරිඅඟුන, මදුරුතලා, බේත් අනෝදා, ඇඹුල් දොඩම්, අත්තන, වෙල්ලංගිරිය,
එලබටු , බේත් පතොක්, රත්වානිස්ස වැනි බොහෝ වල් ඖෂධ වර්ග සපයා ගැනීමේ අපහසුවයි. ඔසු වර්ග සියල්ලම ගැනීමත් සමව ගැනීමත් කළ නොහැකි නම් එම තෙලෙහි සඳහන් නියම ගුණය ලබාගත නොහැක.

එසේම මෙය නිසි වත් පිළිවෙත් ඇතිව නොකිරීමෙන්ද එහි නියම ගුණය ලබාගත නොහැක. එසේම ප්‍රාණජීව තෙල, මහ කළුකුමාර තෙල වැනි තෙල් වර්ග නිෂ්පාදනයෙන් පසු රාක්කයේ තැබීමේදීත්, ප්‍රවාහනය කිරීමේදීත්, රෝගියාට දීමේදීත්
රෝගියා එය භාවිතයේදීත් භක්තියෙන් හා ගෞරවයෙන් කළ යුතුය. එසේම මෙවැනි වටිනා ඔසු වර්ග රෝගියා සුවපත් කිරීම සඳහාම මිස මුදල් ඉපයීමේ ව්‍යාපාර වශයෙන් යොදා ගැනීම කිසිසේත් නො කළ යුතුය.