ශ්විත්‍ර හෙවත් සුදුකබර රෝගය

ශ්විත්‍රයේ උපතට විරුද්ධාහාර, පාපකර්ම ආදී  කුෂ්ඨයට සමාන  හේතු  බලපවත්වයි.

බටහිර නාමය Leucoderma නමි. 
ව්‍රණජ, පරජ වශයෙන් දෙයාකාරය.  ශ්‍රාවයට හේතු වන ධාතු දූෂණයක් නොමැති හෙයින් කිසිඳු ශ්‍රාවයක් දක්නට ඇත.  මෙහිදී වනුයේ ත්වාච විකෘතියකි.  ( ත්වග්ගතමේව කිලාසම්)  ත්වචය ඇසුරු කරමින්ම යට බලා ගොස්  ගම්භීර ධාතුන්ගේ  ආශ්‍රයට වැටෙන ශ්විත්‍රය කුෂ්ඨ නාමය ලබන බව පුරාණාචාර්‍ය මතයයි.

දෝෂය අනුව ත්වචයෙහි වර්ණය වෙනස් වන අතර ඒ අනුව වාතයෙන් අරුණ වර්ණයද, පිතින් තාම්‍ර වර්ණයද, සෙමින් ශ්වේත වර්ණයද, පිළිබිඹු කරයි.  මේ තුනෙහි පිළිවෙලින්  රක්ත, මාංශ, මේදස්  යන තුනෙහි සම්බන්ධය ඇති බවද සැළකිය යුතුයි.

මෙය බාහිර කුෂ්ඨයක් ලෙස   හැඳින්වේ  (..ශ්විත්‍රමස්මාච්ච කුෂ්ඨං බාහ්‍යමුදාහෘතම්)
බාහිර සමෙහි පිහිටි කෘෂ්ණ රංග (Melanin )  නම් අනු වර්ගයෙහි  ක්‍රියාකාරීත්වය මත සමෙහි රංගය හෙවත් වර්ණය ඇති වේ. මෙම කෘෂ්ණ රංගය හටගන්නේ  Tyrosine නමැති මාංසීය ධාතුව නොයෙකුත් රසායනික ක්‍රියාවලට  භාජනය වීමෙන් යැයි ඇතැමුන්ගේ මතයයි.
මෙකී කෘෂ්ණ රංගය රැකෙනුයේ  ත්වචයේ උෂ්ණත්වයෙනි. උෂ්ණ කලාපයේ මිනිසුන්ගේ කෘෂ්ණ රංගය වැඩිය. ශ්විත්‍රයේ දී කෘෂ්ණ රංගය නැසීයයි.  සම මතුපිට සුදුපැහැ වනුයේ එනිසාමය. මෙහිදී සමේ මෘදු බවද නැසීයයි.  සිරුර පුරා සෙමින් පැතිරී යයි. ඇතැම් ශ්විත්‍ර මුළු සිරුරම සුදුපැහැ ගැන්වීමට සමත් වෙයි. එහෙත් එය පසුව පැල්ලම් බවට හැරී යයි.  මෙය ඖපසර්ගික (බෝවන) රෝගයක් නොවෙයි.
 සුදු නොවූ ලෝම ඇත්තාවූ ද නොපැතුරුණාවූද එකිනෙකට සම්බන්ධ නොවූද පිළිස්සීමකින් හට නොගත්තාවූද ශ්විත්‍රය සාධ්‍ය වෙයි. සුව කළ හැකියි.
ලිඟු අතුල් පතුල් දෙතොල් යන මේවායෙහි උපන්නාවූ ශ්විත්‍රය වර්ජනය කළ යුතුයි.

වාතාධික කුෂ්ඨයේ පළමු කොට කුෂ්ඨ නාශක බෙහෙත් යෙදූ ගිතෙලද පිත්තාධික කුෂ්ඨයේදී රක්ත මෝක්ෂණයද එසේම විරේචන කර්මයද සෙම් අධික කුෂ්ඨයේදී වමන කර්මයද කළ යුතුයි.
ත්වචයෙහි පිහිටි කුෂ්ඨයට සංශෝධන ආලේපන දෙකද රක්තජ කුෂ්ඨයට රක්ත මෝක්ෂණයද මාංසජ කුෂ්ඨයට ක්වාථ ආදී ඖෂධ වර්ගද  යෙදිය යුතුයි.
ශක්තිමත් පුද්ගලයාගේ ශිරා විදීම මගින්ද දුර්වලයාගේ අං ලබුකබල් කූඩැල්ලන් ආදිය මගින්ද ලේ හැරීම කළ යුතුයි.
බහුදෝෂජ කුෂ්ඨයේදී වමන හා විරේචන කර්මයද  ප්‍රධාන චිකිත්සාව යෙදිය යුතුයි
වෙහෙසීම, පථ්‍ය භෝජනය , පවිත්‍රතාවද, කුෂ්ඨ රෝගයෙහිලා දිනපතා යහපති