යක්ෂ භූත තෛලය

එදා නරලොව මවන දා මැවූ මෙතෙල බල දැක කවි     කලා
සාද ජීවක එරුසි සිටගෙන සක්‍ර දෙවිඳුට සැල     කලා
මුදා හරිනට සියලු යක්සෙන් එදා රුසිවරු කිවි     බලා
මුදා සැම ලෙඩ දුරුකරන්නට කිව්ව මේ තෙල ගුණ    බලා

වර්තමාන සමාජයේ ජීවත්වන මිනිසුන් තම ආගම දහමින් අෑත්වී ලෞකික ආශා පිටුපස දුවයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් පන්සිල් රැකීම ඔවුන්ගෙන් ගිලිහී යයි. පන්සිල් රැකීම තියා එහි අරුතවත් නොදත් සමාජයක් බිහි වී ඇති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් එවැනි මිනිසුන් නර කය අතහැර ගිය පසු තිරිසන් ලෝකවල උත්පත්තිය ලබයි. තවද ධර්මානුකූල ජීවිකාවක් ගත නොකරන අධර්මිෂ්ට මිනිසුන්ට යක්ෂ භූත ප්‍රේත පිසාච කුම්භාණ්ඩයන්ගේ බලපෑම්ද ඇතිවේ. ඔවුන් නිරන්තරයෙන් නොපෙනෙන බලවේගවලට ග්‍රහණය වේ. ඔවුන්ට සොබා දහමේ ආශීර්වාදයන් නොලැබේ.

එවැනි යක්ෂ භූත ප්‍රේත පිසාච කුම්භාණ්ඩයන්ගේ ග්‍රහණයට හසුවූවන්ගේ ප්‍රයෝජනය සඳහා එම බලවේගවලින් මිදීමට හැකි මහා බලසම්පන්න යක්ෂ භූත තෛලය පිළිබඳව තරුපති පුවත්පත හරහා ඉතා වැදගත් හෙළිදරව්වක් මෙසේ පළ කරමු.

යක්ෂ භූත තෛලය සිඳ ගැනීමට ගන්නා ඔෟෂධ වර්ග කීපයක් ඇහැටුමුල්, නුගමුල්, බෝමුල්, සපුමල්, නාමුල්, රත්තේටුමුල්, දෙමට මුල්, කුඹුරු මුල්, වරා මුල්, නික මුල්, වේල  මුල්, බැවිල මුල්, පබුරු මුල්, කුඩු මිරිස්ස මුල්, ඉරමුසු මුල්, සැවුන්දරා මුල්, දලුක් මුල්, මුරුංගා මුල්, ඇන් අඩි, උඳුපියලිය මුල්, සස්සඳ මුල්, මුඩමහන මුල්, බැමිතිරිය මුල්, පිටසුදුපලා, කීකිරිඳිය, ඉරිවේරිය, මුගුණුවැන්න. විලකොළ, දිය හබරල, කන්සා.

මීට සරක්කු වර්ග කීපයක් - දේවදාර,  සුදුදුරු, කළුදුරු, සවන්ගුරු, හිරියල්, අසමෝදගං, අක්‍රාපටිට, ඉඟුරු, වදකහ, පෙරුම්කායම්, වැල්මී, සාදිලිංගම්, මනෝසීල, බුලු, අරලු, නෙල්ලි, නාගකුදිරද පාසානං, මීට තෙල් වර්ග, කොහොඹතෙල්, මී තෙල්,  එඬරු තෙල්, තල තෙල්,

මෙහි අඩංගු ඔෟෂධ ගැන කවියෙන් මෙසේ කියැවේ

ඇහැටු නුග බෝ සපුද නා මුල් පෙනත් කිනිහිරි රත්නෙමුල්
දෙමට කුඹුරුද වරා නික මුල් වේල බැවිලද පබුරු මුල්
කුඩු මිරිසි සීනක්ද මුල් ගෙන පතුක් ඉරමුසු සැවැන්නද මුල්
දලුක්පලු වැටහිරද මුරුවා මුරුංගා කුඹුරුද මෙමුල්

තෙල සිඳ ගැනීම පිළිබඳව කෙටි සඳහනක්

තෙල සිඳ ගැනීම සඳහා පිරිසුදු ස්ථානයක් සකස් කර ගත යුතුයි. එය සිඳීම සඳහා තඹ හැළියක් භාවිතය මැනවි. මෙහි 4 කොන මල්, බුලත් තටු 4ක් තනා එහි සිවුවරම් දෙවියන්ට පහන් දැල්විය යුතුයි. මෙයට සහභාගි වන ඇදුරන් මස් මාංස කිලි කුණු ආදියෙන් තොර විය යුතුයි. තෙල් හිඳින විට මහ සඟරුවන ලවා පිරිත් කරවීම අනිවාර්ය වේ. මෙම තෙල සමපාකයට හිඳ ගත යුතුයි. මෙම තෙල පදම් වූ විට මඳ රන්වන් පැහැයක් ගනී. එවිට සුවඳක් ද විහිදේ. මෙලෙස හදාගත් තෙල 7 පැයකට පසු පිරිසුදු භාජනයක් ගෙන එයට දුම්මල දුම් අල්ලා එම භාජනයට දමා සුද්ද පවිත්‍ර ස්ථානයක තිබිය යුතුයි. ඉන් පසු තමන්ට වුවමනා කටයුතු කාරණා සඳහා අවශ්‍ය වාර ගණන ජීවම් කිරීම සුදුසු වේ.

සමව රන්වන් පාට වූ විට සුවඳ විහිදෙයි ගම වටා
මෙවැනි පදමට දියට බා තෙල් සත් පැයක ඇර සහතුටා
දෙවැනි ඒ තෙල් ලවා භාජන එලුම්මල අල්ලා සිටා
සුද්ධ ඇති ස්ථානයක එම තෙල් තබවු කිව්වේ පෙර සිටා

මෙහි ඇති අපරිමිත ගුණ බල මෙසේ වේ
මෙහි තෙල් කර පැලඳි පුද්ගලයාට අංගං පිල්ලි හූනියම් ළං නොවේ.
මෙම තෙල් සුරයකලා පැලඳි අය හට යක්ෂ භූත ප්‍රේත දෝෂ ළං නොවේ.
මෙම තෙල් යොදා 7 දිනක් පහන් ඇවිලූ විට සියලු යක්ෂ දොස් දුරුවේ.
මෙම තෙල් භාවිතයෙන් අපස්මාර - ඔල්මාද. දෙඩවිලි. නපුරු සිහින පෙනීම, සිහිනෙන් බියවීම දුරුවේ.
සන්නි රෝග, වලිප්පු, පෙම් විකාර, නොබසිනා උණ දුරුවේ.
මෙම තෙල් නිවෙස 4 කොන හෝ ඉඩමේ 4 කොන වැළලීම මඟින් එම නිවෙසට භූමියට හූනියං අංගම්, පිල්ලි, යක්ෂ භූත, ප්‍රේත දෝෂ ළඟා නොවේ.
යක්ෂ ප්‍රේත ‍ෙදාස් ඇති රෝගීන්ට නස්න කිරීමට යහපති
ගෙයි කොන් 4 එල්ලීමෙන් ගෙට ආරක්ෂාව සැලසේ.