දරුවන් ප්‍රමාද අයට සිංහල බෙහෙත්

ගෞතම බුදුන්ට පළමුව බුදුවූ කාශ්‍යප බුදුරදුන් සිය අරමුණ සාක්ෂාත් කරගත් “නුග” ශාකය විද්‍යාත්මක වර්ගීකරණයේ දී හඳුන්වන්නේ Ficus benghalensis ලෙසය. දෙවි දේවතාවුන් වාසය කරන බව විශ්වාස කළ නුග රුක ඉබේ වැවෙන, ප්‍රමාණයෙන් විශාලව වැවෙන දිගු ආයු කාලයක් පවතින ගසකි.

නුග සෙවණක පවතින ගුප්ත නිහැඬියාව සමඟ හුදකලාව රැඳීමෙන් දැනෙන මානසික සහනය විස්තර කළ නොහැකි සුවදායක එකකි. ඒ නිසාම ගැමි සමාජයේදී විවිධ පූජනීය කටයුතු සඳහා නුග රුක භාවිතා කර ඇත.

දේශීය ගැමි වෙදකමේ දී විවිධ රෝගාබාධ සඳහා නුග ගසේ විවිධ කොටස් උපයෝගී කරගෙන ඇත. එසේම ආයුර්වේදයේ ද අශෝකාරිෂ්ඨය වැනි නිෂ්පාදන සඳහා නුග ශාකයේ සාරය යොදාගනී.

දේශිය ගැමි වෙදකම අනුව “නුග” යනු ශරීරයේ තුන්දොස් සමනය කර රුධිර සංසරණ පද්ධතිය ක්‍රමවත් කරන ශාකයකි. ඒ සඳහා නුග ගසේ පස් පංගුවෙන් සැකසූ බෙහෙත් භාවිතය අනවශ්‍ය යැයි පිළිගන්නා අතර නුග ගසක් යට දිගු වේලාවක් රැදී සිටීමෙන් ද මේ තත්වය උදා කර ගත හැකි බව විශ්වාස කෙරේ. එසේ තුන්දොස් දුරැලිමෙන් මානසික ශක්තිය වර්ධනය කර, මානසික ඒකාග්‍රතාව ඇති කිරීමේ හැකියාව නුග ගස සතුය. මානසික ශක්තින් වැඩි කරන මෙවැනි තවත් ශාකයන් ලෙස “බෝ” සහ “නා” ද හැඳින්විය හැකිය. ඒ නිසා මෙවැනි ශාක යට දී තම මානසික ශක්තිය තමන්ට අවශ්‍ය දිශාවට යොමු කර සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැක. ඒ නිසා තමන් සතු “ලෞකික’ හෝ “ලෝකෝත්තර” අරමුණු සඳහා එවැනි ශාක වල පිහිට ලබාගත හැකි බව දේශීය වෛද්‍ය ක්‍රම තුළ තහවුරු වී ඇත. .

මේ සියලු ගුණ අතර නුග රුක අද කාලයේ ද සමාජය පෙළන දැවැන්ත අර්බුදයක් වන දරු පල නැති වීමට බලපාන මඳ සරු බවට කෙරෙන ප්‍රතිකාරවල දී නුග රුක මහෞෂධයක් වැනිය. මඳසරු බව නැති කිරීම වෙනුවෙන් සිදු කෙරෙන ප්‍රතිකාරවලට පෙර සිදු කළ යුතු අභිචාර විධියක් ලෙස පවා නුග ගස සේවනය කිරීම යොදාගනී.

එහිදී බොහෝ විට දේශීය වෛද්‍ය ක්‍රමයේදී සිදුවන්නේ දිනකට වරක් නුග රුකක් වෙත ගොස් කාලය ගත කිරීම, වන්දනය කිරීම, නුග රුක අවට පිරිසුදු කිරීම ආදී කටයුතු රෝගියාට පැවරීම මඟින් මෙම අභිචාර විධි සම්පූර්ණ කිරිමට වෛද්‍යවරයා යෝජනා කරන්නේ එබැවිනි. එමගින් ශරීරයට ඖෂධ ලබාදිමට පෙරාතුව රෝගියාගේ මානසික ඒකාග්‍රතාව ඇති කිරීම බලාපොරොත්තු වේ.

එයට බෙහෙවින්ම හේතු වන්නේ මඳසරු බවට බලපාන ලොකුම හේතු අතර මානසික ඒකාග්‍රතාව නැති වීම පැවතීමය.

බාහිර ප්‍රතිකාරවලට මත්තෙන් තම මානසික ඒකාග්‍රතාව ආරක්ෂා කර ගැනීම ද, ඇවැතුම් පැවතුම් කළමනාකරණය ද මඟින් “මද සරුභාවය” මඟ හැර ගැනීමේ හැකියාව පවතී. අප ගන්නා ආහාර, භාවිතා කරන ඇදුම් සහ රැකියා තත්ත්වය ද අපේ ශරීරයට සහ මනසට බලපාන ආකාරය අනුව අඹු සැමි කාම සම්භෝගයෙන් ගැබක් හට ගැනීම පමා විය හැකිය.

“මඳ සරු භාවය”ට ප්‍රතිකාර ලෙස මූලිකවම භාවිතා වන්නේ නුග දලුය. එසේ වුව ද නුග ගසේ පොතු ගෙඩි මුල් මෙන්ම රැහැන් ලෙසින් අතුවල සිට පහතට හෙළෙන කයිරු මුල් ද මඳසරු බව සම්බන්ධ ප්‍රතිකාරවල දී යොදා ගැනෙයි. මෙහිදී අපට නිවසේ දී සාදාගත හැකි ඖෂධීය පානයක් පිළිබඳව සඳහන් කළ යුතුය.

පිරිසුදු නුග දලු මිටක් ගෙන පිරිසුදු කර කුඩා කැබලිවලට කඩා එය නැවුම් මැටි මුට්ටියක දමා සැණින් දොවාගත් එළකිරි කෝප්ප දෙකක් එක් කොට හොඳින් තම්බා එම මිශ්‍රණය වීදුරුවකට පෙරාගත යුතුය. එයට තිප්පිලි කුඩු ස්වල්පයක් එක කර පානය කිරීමෙන් සිරුරට මනා ගුණයක් ලද හැකිය.

මෙයටම සමාන තවත් සුදුසු ඖෂධයක් වන්නේ නුග දලු මිටක් අඹරා එයට තිප්පිලි කුඩු ස්වල්පයක් මිශ්‍ර කර සකසා ගන්නා ගුලියකින් වරකට කුඩා ප්‍රමාණය බැඟින් එළකිරි සමඟ බීමට දීමය.

ප්‍රතිකාර දෙකම සමාන නමුත් වෛද්‍යවරයකු විසින් රෝගියාට සුදුසුම ප්‍රතිකාර විධිය තීරණය කරන්නේ රෝගියා ගේ බාහිර ලක්ෂණ සහ ජිවත්වන පරිසරය සලකා බලාය. ඒ නිසා මෙම ප්‍රතිකාරය වඩාත් සඵල වීමට නම් වෛද්‍ය උපදෙස් මත ලබාගැනීම වඩා සුදුසුය.

කෙසේ වෙතත් දරුඵල අපේක්ෂා කරන අයෙකුට අත්බෙහෙතක් ලෙස වාර කිහිපයක් මෙම ප්‍රතිකාරය අත්හදා බැලිය හැකි වුව ද වඩාත් සුදුසු වන්නේ පිළිගත් දේශිය වෛද්‍යවරයකු හමු වී ශරීරයේ දොස් විමසා විධිමත් ප්‍රතිකාර පන්තියකට යටත්ව මෙම ඖෂධ ක්‍රමය භාවිත කිරීමයි.

නුග දලු හෝ මුල් යොදාගනිමින් “මඳ සරු භාවය”ට ප්‍රතිකාර කිරීමෙන් ගර්භාෂ දොස් ඉවත් කර ගර්භ පාතනය හෙවත් අනිසි ගබ්සා වීම් වළකින අතර ගර්භාශය ශක්තිමත් විමද සිදුවේ. විවාහයට පෙරම ගර්භාෂ දොස් පවතින බව හඳුනාගත් යෞවනියන්ට ද “නුග” දලු සහ මුල් යෙදූ බෙහෙත් ලබාදීම මඟින් යහපත් විවාහ ජීවිතයකට මඟ පෙන්වනු ඇත.

කාන්තා සේම පිරිමි මද සරු භාවයේ දී ප්‍රතිකාර කිරීමට පෙර විමසිය යුතු වන්නේ රෝගියාගේ ලේවල තත්වයයි. ලේ අපිරිසුදු නම්, ශරීරයට ලැබෙන ආහාර වල ජිර්ණයේ සිට සියලු ශරීර පද්ධතින් වල ක්‍රියාකාරීත්වය අඩපණ වේ. ඒ නිසා සියලු අභ්‍යන්තර ප්‍රතිකාරවලට පෙර ලේ පිරිසුදු කරගැනීම අනිවාර්යයෙන් සිදු කළ යුතුය. නුග මුල් තම්බා බීමෙන් ශරිරයේ ලේ ධාතුව පිරිසුදු කරගැනීම සිදු කළ හැකිය.

දරු පල බලාපොරොත්තුවෙන් කෙරෙන ප්‍රතිකාරවල දී නුග සම්බන්ධ තවත් බොහෝ ප්‍රතිකාර විධි පවතී. පුශ නැකතින් ගලවාගත් නුග මුලක් ඉණෙහි බැඳගෙන ලිංගික කටයුත්තේ යෙදීමෙන් සාර්ථක දරුඵල ලබාගත හැකි යැයි විශ්වාසයක් පවතී. එම විශ්වාසයට ද පදනම් ව ඇත්තේ නුග සතු මේ විස්මිත වූ ඖෂධීය බලය විය හැකිය.

කාන්තාවන්ගේ ප්‍රදර රෝග සඳහා ද නුග මුල්වලින් සකසන කෂාය භාවිතා කෙරේ. මෙයට අමතරව ග්‍රහණි රෝග, අර්ශස් රෝග, අතීතසාර, ප්‍රදර රෝග, චර්ම රෝග, දියවැඩියාව ඇතුළු ප්‍රමේහ රෝග සඳහා ද නුග ශාකයේ පංචාංගය අවස්ථානුකූලව යෙදූ ප්‍රතිකාර ක්‍රම භාවිතා කෙරේ.

පැසුණු නුග ගෙඩි තම්බා ආහාරයට ගැනිම ද, මඳක් ඉදුණු නුගගෙඩි පලතුරක් ලෙස ආහාරයට ගැනීම ද අතීත ගැමියා පුරුද්දක් ලෙස කළ අතර වර්තමානයේ දී නම් ආහාරයක් ලෙස භාවිත නොකෙරෙන තරම්ය. ඒ අනුව නුග යනු ස්වභාවිකත්වය අනුගමනය කරමින් යන දේශිය වෙදකමේ දී නොසලකා හැරිය නොහැකි ඖෂධීය ගුණ සහිත ශාකයකි. ඒ නිසා අපේ පරිසරයේ සිමිතව ඇති නුග ගස් ආරක්ෂා කිරිම අපගේ යුතුකමකි.