හෙළ වෙදකමේ අස්ථි භග්න සුව කරන්නෙ මෙන්න මෙහෙමයි.



වාහන අනතුරු වලට ලක්වීම, උසකින් වැටීම, ලිස්සා වැටීම, විසිකළ යමක් ඇඟේ වැදීම, පහර දීම් වලට ලක්වීම, තිරිසන් සතුන්ගේ ප්‍රහාරයන් වලට ලක්වීම, අධික බරක් එසවීමට තැත් කිරීම ආදී බොහෝ ක්‍රම වලින් අස්ථි බිඳීම, පිපිරී යාම, සන්ධි වලින් පැනීම, ඇඹරීයාම ආදිය සිදුවිය හැකියි. මෙවැනි අවස්ථාවක දී අපේ පුද්ගලියින් දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේ පිහිට පතනු ලබනවා.

මෙම ඇට බිඳීම හා සන්ධි පැනීම දේශීය වෛද්‍ය විද්‍යාවේදී ප්‍රධාන කොටස් දෙකකට බෙදා දක්වනු ලබනවා.

01. සන්ධිමුක්තය
02. කාණ්ඩ භග්නය

මෙයින් සන්ධිමුක්තය ,
01. උත්පිෂ්ඨය
02. විශ්ලිෂ්‍ඨය
03. විවර්තිකය
04. අවක්ෂිප්තය
05. අතික්ෂිප්‍තය
06. තීර්‍යයක් ක්ෂිප්තය
ලෙස කොටස් හයකට බෙදා දක්වනවා.

• උත්පිෂ්ඨය යනු, සන්ධිය බිඳී සුනු විසුණු වීමයි.
• විශ්ලිෂ්‍ඨය යනු සන්ධි ගැලවී යාමයි.
• විවර්තිකය යනු සන්ධිය පෙරළී යාමයි.
• අවක්ෂිප්තය යනු සන්ධි ඇට දෙක අතර පරතරයක් තබමින්, අධික වේදනා ඇති කරවමින් ඇට විසන්ධි වීමයි.
• තීර්‍යයක් ක්ෂිප්තය යනු අධික වේදනා ඇති කරවමින් එක ඇටයක් හරහට විසි වී සන්ධියෙන් පිට පැනීමයි.

💥 දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේ දී කාණ්ඩ භග්නය,

01. කකී තටකය
02. අශ්වකර්ණය
03. චූර්ණිකය
04. පිච්චිතය
05. අස්ථි ජල්ලිතය
06. කණ්ඩ භග්නය
07. මජ්ජානුගතය
08. අතිපාතය
09. වක්‍රය
10. ඡින්නය
11. පටිතය
12. ස්ඵුටිතය
ලෙස කොටස් දොලහකට බෙදා දක්වන නමුත්, නවීන ශෛල්‍ය වෛද්‍ය ශාස්ත්‍රයේ දී වඩාත් තේරුම් ගැනීමට හැකිවන පරිදි එය කොටස් 10 කට බෙදා දක්වනු ලබනවා. ඒවා නම්,

01. තීර්‍යයක් භග්නය
02. කුටිල (ඇල) භග්නය
03. සර්පිල (දඟර) භග්නය
04. ජර්ජනිත (සම්මිශ්‍ර) භග්නය
05. ආමදණ්ඩ භග්නය
06. ටී හැඩයේ භග්නය
07. සංඝාටිකා (එකට ගැටෙන) භග්නය
08. අපිභූතිය භග්නය
09. සපරිඛා (පැලීම් සහිත) භග්නය
10. අවපාත භග්නය
ආදියයි.

තමා වෙත ගෙන එන සියලුම රෝගීන් භග්න රෝගීන් නොවන බව දන්නා අපේ දේශීය වෛද්‍යාචාර්ය වරයා එම භග්න ස්ථානය ස්පර්ශය කිරීමෙන්, හොඳින් දර්ශණය කර ගැනීමෙන් හා රෝගියාගෙන් ප්‍රශ්න කිරීමෙන් එය අස්ථි භග්නයක් ද, නැතහොත් ඇඹරීමක්, පැනීමක්, කෙටීමක්, ඇදීමක් හෝ තැලීමක් ද යන වග සැකහැර දැනගනු ලබයි. අස්වාභාවික චලන, නාඩි වේගය, ශරීරයේ ස්වභාවය, රෝගියාගේ වේදනාව දුටු පමණින්ම අත්දැකීම් බහුල දක්ෂ වෛද්‍යවරයාට ඔහු කෙබඳු ආකාරයේ රෝගියෙකු දැයි පූර්ව නිගමනයකට එළැඹිය හැකියි.

යුධ පිටියකට පැමිණි හස්ති රාජයෙකු සතර අතින් පැමිණෙන සතුරු ආක්‍රමණයන්ට මුහුණ දෙමින් ඒවා විනාශ කර දමමින් ඉදිරියට යන්නා සේ මෙවැනි භග්න රෝගියෙකු ආක්‍රමණය කිරීමට පැමිණෙන

• ප්‍රහාරය (රුධිර ගමනාගමනයේ දුර්වලතා)
• නිව්මෝනියාව
• පිටගැස්ම
• මේද නික්ඛිත්තිය ( ඇට මිදුළු වල ඇති මේද කොටස් ශිරාවකට ඇතුල් වී පෙනහළු, මොළය ආදී සංවේදී ඉන්ද්‍රියයන් වලට රුධිරය සැපයීමට බාධා ඇති කිරීම.)
• වායුකෝථය (භග්නයේ අවට මස් කුණු වීම)
• ආමාශයේ තීව්‍ර විස්තාරණය (වාතයෙන් බඩ පුරවා දැමීම. විශේෂයෙන් කොඳු ඇට, උකුල් ඇට, කලවා ඇට බිඳීමේදී මෙම තත්වය ඇති වේ.)
ආදී සතුරන් පරාජය කර දමමින් එම රෝගියා සුවපත් කිරීමට අපේ දේශීය වෛද්‍යවරයා සමත්කම් දක්වනවා.

මෙවැනි රෝගියෙකුට ප්‍රතිකාර කිරීමේදී ඒ ඒ වෛද්‍යවරයා අයත්වන වෙද පරපුරට අනුව ප්‍රතිකාර කරන ආකාරයද වෙනස් වන අතර සම්මතයක් ලෙස අපේ වෛද්‍යවරයා පිරිසිදු ගිතෙල් හෝ සන්ධි තෙලක් ගෙන සන්ධි ස්ථානයේ ආලේප කර මෘදුවට පිරිමදිමින් ඔබමින්, අදිමින් එම ස්ථානයේ ඇති කැඩී බිඳී ගිය අස්ථි කොටස් ක්‍රමවත් ලෙස සකස් කරනු ලබනවා.

💥 උරහිස් සන්ධිය පැන්න විට, මෝල් ගසක් වැනි මුගුරක් කිහිල්ල යට තබා නියමිත පරිදි සන්ධි කර සන්ධි තෙලක් ආලේප කර වෙලුම් පටි වලින් වෙලනු ලබයි.

💥 වැලමිට සන්ධිය, මැණික් කටු, දණහිස්, විලුඹ ආදී සන්ධියන් පැන්න විට සන්ධි තෙල් ආලේප කර නැවීම, දිග හැරීම, හැකිලීම ආදී ක්‍රම මඟින් නිසි පරිදි සන්ධිගත කර වෙලුම් පටි වලින් ඔතනු ලබයි.

💥 ඉල ඇට බිඳුන විට රෝගියාට තෙල් පානය කරවා රෝගියාට හිටගෙන සිටීමට සලස්වා බිඳුණු ඇට මත සන්ධි තෙල් තවරා උණ පතුරක් වැනි යමක් තබා වෙළුම් පටි වලින් බැඳීමද, තද බල සේ ඉල ඇට වලට හානි සිදු වී ඇති විට වෙළුම් පටි යෙදීමෙන් පසු පස්තෙල් කටාරමක සයනය කරවීම සිදු කරයි.

💥 කොඳු ඇටය බිඳුණු විට, නියමිත පරිදි කොඳු ඇට සකසා තෙල් ගල්වා නොසෙල්වෙන සේ හක්ගෙඩියක අයුරින් වෙළුම් පටි බැඳීම සිදුකරයි.

💥 අත්ලේ ඇට හා පතුල් ඇට බිඳුණු විට ඕවලාකාර පතුරක් මත අත්ල හෝ යටි පතුල තබා බිඳුණු ඇට සකසා තෙල් ගල්වා වෙළුම් පටි වලින් බැඳීම සිදුකරයි.

💥 ග්‍රීවා ඇට බිඳුණු විට හෝ ඇද වූ විට අදාල ස්ථානය සකසා පතුරු තබා වෙලා රෝගියා සතියක් පමණ උඩුකුරුව සයනය කරවා තබයි.

මෙලෙස සැකසූ පසු අපගේ දේශීය වෛද්‍යවරයා ගේ කාර්‍යභාරය එපමණකින් හමාර නොවේ. ඔහු තමාට මුහුණ පෑමට සිදුවන අනෙකුත් දුෂ්කරතාවයන් ගැන දැඩි අවදානයකින් පසු වෙයි. එම දුෂ්කරතාවයන් නම්,

• සන්ධිය අනියම් විදිහට පැහීම
• සන්ධි දරදඬු වීම
• සන්ධි නොපෑස්සීම
• සන්ධි පෑස්සීම ප්‍රමාද වීම
• පීඩන තුවාල ඇති වීම ආදියයි.

01. අනියම් ක්‍රමයට පෑස්සීම

මෙහිදී ගාත්‍රා වල ඇද වීමක් හෝ කෙටි වීමක් සිදුවිය හැකි බැවින් වෛද්‍යවරයා රෝගියාට ප්‍රතිකාර කරන මුල් අවධියේ සිට ඒ පිළිබඳව සැළකිලිමත් වෙයි.

02. පෑස්සීම ප්‍රමාද වීම

නියමිත බෙහෙත් යොදා ක්‍රමවත් ලෙස බඳින ලද සන්ධියක් සති දෙකකින් පෑස්සෙන බව දන්නා වෛද්‍යවරයා එය සති තුනකට වඩා ප්‍රමාද වේ නම් ඒ සඳහා මුල් වූ හේතූන් සොයා බලයි. රුධිර සපයන නාල වලට හානි සිදුවීම, බැක්ටීරියා ආසාදන, භග්නයේ ඇට කැබලි අතරට පේශි හා කණ්ඩරා හරස් වීම, රෝගියා විසින් බිඳුණු ස්ථානය නිශ්චලව නොතබා චංචල කිරීම, කැල්සියම්, විටමින් - C, විටමින් - D ආදී පෝෂක සහිත ආහාර නොගැනීම ආදී කරුණු කාරණා මෙහිදී වෛද්‍යවරයා විසින් සැකහැර දැනගනු ලබයි.

03. නොපෑස්සීම

අත්දුටු ප්‍රත්‍යක්ෂ ඖෂධ යොදා සන්ධි බැඳීමෙන් පසුවත් මසකට වඩා කාලයක් සන්ධි ගැනීම ප්‍රමාද වේ නම් එය නොපෑස්සීමක් වශයෙන් සලකන දේශීය වෛද්‍යවරයා පෑස්සීම ප්‍රමාද වීමට හේතු වූ කරුණු කාරණා සොයා බලා ඒ සඳහා ප්‍රතිකාර සිදුකරනු ලබයි.

04. සන්ධි දරදඬු වීම

සන්ධියක් අසල හෝ සන්ධියකට යාබදව භග්නයක් ඇති වූ විට සන්ධියේ චලනයන් සීමාවීම හේතු කරගෙන සන්ධියේ දරදඬු ස්වාභාවයක් ඇතිවිය හැකි නිසා එවැනි අවස්ථා වලදී ක්‍රමවත් ව්‍යායම මඟින් සන්ධි චලනය කිරීමෙන් සන්ධි දරදඬු වීම වළක්වා ගනු ලබයි.

05. පීඩන තුවාල

රෝගියා එකම ඉරියව්වෙන් ඇඳේ සිටීම නිසා හෝ බඳින ලද පතුරු සමට තද වීම නිසා පීඩන තුවාල හට ගන්නා බව දන්නා වෛද්‍යවරයා මෙම පීඩන තුවාල වළක්වා ගැනීම සඳහා රෝගියා ගැන නිතර සැළකිල්ලෙන් පසු වෙයි.

කැඩුම්, බිඳුම්, තැළුම්, උලුක්කු ආදිය ඇති වූ විට එළඟිතෙල් බඳුනකට අමු කහ කැබැල්ලක් ලියා දමා පිහියා තුඩින් හෝ වානේ කටුවකින් කූරු ගාමින් විශේෂිත මන්තරයකින් 108 වරක් මතුරා ගෙන ආබාධ සහිත තැන් වල හොඳින් ආලේපකර පිරිමදිනු ලබයි. තදබල වේදනාවන්ට එකෙනෙහිම එයින් සහනයක් ලැබෙයි.

උළුක්කු / ඇම්මැටි වලට වෙනම මන්ත්‍රයන් පවතින අතර එම මන්ත්‍රයන් මතුරා හෝ නැතිව උළුක්කු වලට වෙනම ප්‍රතිකාරයන් සිදුකරනු ලබයි.

✋ බිත්තර දෙකක සුදු මද ලුණු වතුර සමඟ හොඳින් කලතා ආබාධ ස්ථානයේ ආලේප කර පිරිමැදීම,

✋ දියලුණු දෙමිටක් පොට්ට්නි බැඳ උණුවතුරේ ඔබා උළුක්කු ස්ථානය හොඳින් තැවීම
මූලික වශයෙනුත්,
අඹ පොතු, බැල තණ, අමු කහ, හාතවාරිය ඇතුළු තවත් බොහෝ ඖෂධීය ශාක වට්ටෝරු අනුව ඖෂධ මලවා බැඳීමද සිදුකරයි. තවද විවිධ පැණි පත්තු ආදිය සකසා භාවිතා කරයි.

සුළු පීඩනයකින් පවා මරණයට පත්විය හැකි ශරීරයේ ඇති මාංශ මර්ම, ශිරා මර්ම, ස්නායු මර්ම, අස්ථි මර්ම, සන්ධි මර්ම ආදී මර්මස්ථාන 107 ගැන පුළුල් අවබෝධයක් ඇති වෛද්‍යවරයා රෝගියෙකු පරික්ෂා කරනු ලබන්නේ.. එම දැනුමද සහිතවයි.

තැල්මක් සඳහා,
💥 කරඳ මුල් කොටා යුෂ ගෙන අමුකහ ඉස්ම සමඟ කාකාරා ගෑම.
💥 මානෙල් අල ඉස්මෙන් හීනටි හාල් තම්බා අඹරා ගෑම

ආදී වශයෙන් විශාල දේශීය වෛද්‍ය වට්ටෝරු ගණනාවක් ඔවුන් සතුව පවතින අතර, පහසුවෙන් සොයාගත හැකි ඖෂධයන් අනුව ඔවුන් එම වට්ටෝරු භාවිතයට ගනියි. කෙසේවත් කිසිදු ඖෂධයක් සොයා ගැනීමට නොහැකි වූ විට එම ඖෂධ වෙනුවට ගත හැකි විකල්ප ඖෂධ ( ප්‍රතිනිධි ඖෂධ ) භාවිතයට ගැනීම සිදුකරයි.

උසකින් වැටුණු විට හෝ අස්ථි භග්නයක් සිදු වූ විට රෝගියෙකුට ජල අඩස්සි මෙන්ම මළ අඩස්සි ඇති වීම ස්වාභාවික සංසිද්ධියකි. ජල අඩස්සිය යනු මුත්‍රා පිට නොවීමයි. මළ අඩස්සිය යනු මළපහ පිට නොවීමයි.

🔆 ජල අඩස්සිය සඳහා,
අරළු කුඩු තැඹිලි වතුරට දියකර බිත්තර සුදු මද සමඟ කලතා පෙවීම ද,

🔆 මළ අඩස්සිය සඳහා,
රසකිඳ කොළ එළඟිතෙලෙන් අඹරා ඉකිලි, යටිබඩ, පෙකිනි වල ආලේප කිරීමද සිදුකරයි.

මේ සඳහා තවත් බොහෝ ප්‍රතිකාර පන්තීන් ඔවුන් සතුව පවතින අතර, සපයා ගත හැකි ඖෂධ අනුව එම ප්‍රතිකාර සිදුකරයි.

උසකින් වැටුන අයට වෙනම ප්‍රතිකාර පන්තීන්ද, උසකින් වැටී සිහි නැති වූ විට එවැනි රෝගීන්ට සිදුකරන නස්න ප්‍රතිකාර ක්‍රම ද, භග්න රෝගීන්ට උණ ඇති වූ විට වෙනම කෂාය පන්තීන් ද, කැඩුණු බිඳුණු තැන් වලින් ලේ යන විට ඒ සඳහා විවිධ මන්ත්‍රයන් ඇතුළු බෙහෙත් වට්ටෝරු විශාල ප්‍රමාණයක් ඔවුන් සතුව පවතින අතර ශ්‍රෝතස් අවරෝධ වූ විට ඒ සඳහා ප්‍රතිකාරයන් ‍රෝගියාගේ රෝගී ලක්ෂණ අනුව සිදු කරනු ලබයි.

තුවාල සහිතව ඇට බිඳීමේදී ඇතුළත කැඩි ඇති ඇට කැබලි කිසිදු ශල්‍ය කර්මයක් සිදුනොකොට විවිධ බෙහෙත් පන්තීන් භාවිතා කර එම කැඩුනු ඇට එළියට ගන්නා දේශීය වෛද්‍යවරයා මේ සඳහා,

මයිල මුල්, නිල් වැල්, කහඹිලියා කොළ, හීනටි හාල්, වරා මුල්, කටුපිල කොළ කොළ, හමස් පලා කොළ, පුහුල් දළු, වල් ලූණු අල, මුං ඇට, වෙරළු දළු, නෙල්ලි, කෝමාරිකා මද, පෙරුම්කායම්, මානෙල් අල ආදී බොහෝ ශාකමය ඖෂධත්
මීමිණි මාළු, මීමිණි හම්, වලස් වසුරු, මීමිණි මවිල් ආදී සත්වමය ඖෂධ කොටස් ද භාවිතයට ගනියි.

💥 ඇට එළියට ඇදීමෙන් පසු එම තුවාල වේලීමට,

කුඹුරු, කැප්පෙටියා, ගොං කැකිරි, කෝවක්කා, මදුරුතලා, එරබදු, පුවක් ගොබ, දිවුල් මැලියම්, සියඹලා නැටි, තල ඇට, තල මුල්, කොහොඹ කොළ, කොහොඹ පොතු, රතඹලා කොළ ආදී බොහෝ ඖෂධයන් ඇසුරු කොටගෙන ඖෂධ සකසා ගනී.

තුවාල සඳහා තුවාල තෙල් ද, වණ වූ තුවාල සඳහා වණ බෙහෙත් සහ ඔඩු තෙල් පවතින අතර, ඒ ඒ අවස්ථාවට අනුව වෛද්‍යවරයා විසින් එය භාවිතා කරනු ලබයි.

ළදරුවන්ගේ බිඳුණු ඇට මාසයකදීත්, මැදි වයසේ පසු වන්නන්ගේ ඇට මාස දෙකකදීත්, මහළු අයගේ ඇට තුන් මාසයකිනුත් පෑස්සෙන බව දන්නා වෛද්‍යවරයා එලෙස සන්ධි පෑස්සීමේදී ඒවා විකෘති ලෙස පෑස්සීමට ඉඩ ඇති නිසාත්, රෝගියාට වැඩි කලක් දුක් විඳීමට සිදුවන නිසාත් සුදුසු බෙහෙත් යොදා ඇට සකස් කර බැඳීම සිදුකරයි.

මේ සඳහා එක් පෑ සන්ධි, දෙපෑ සන්ධි, දෙපෑ හමාරේ සන්ධි, තිස් පෑ සන්ධි, හැට පෑ සන්ධි, බත් ඉතිරෙන සන්ධි වශයෙන් වර්ග කරන ලද රාවණා යුගයේ සිට පැවත එන රහස් වට්ටෝරු වලින් බෙහෙත් බැඳීම සිදුකරයි.

ඇට පෑස්සීමට බෙහෙතක් බැන්ද විට එය දින 03 කින් පමණ ලිහා පරීක්ෂා කිරීම සමාන්‍යයෙන් වෛද්‍යවරයා ගේ පුරුද්දයි. නමුත් ශීත කාලයකදී නම් මෙම බැම්ම දින 07 කින් ද, සම ශීතෝෂ්ණ කාලයක දී නම් දින 05 කින් ද මෙම බැම්ම ලිහා බලා අවශ්‍ය නම් සුදුසු ප්‍රතිකර්ම සිදුකොට නැවත තැවිලි, පත්තු, මැල්ලුම් ආදියෙන් ප්‍රතිකාර සිදුකරනු ලබයි.

~ දැනුමට යමක් ~

💥 බත් ඉතිරෙන හන්දි බෙහෙත්

බෙහෙත බැඳීමත් සමඟ හාල් ටිකක් ලිප තබා බත ඉදී කැඳ ඉතිරෙන වෙලාව වැනි සුළු කාලයක් තුළදී කැඩුණු ඇට සන්ධි වේ.
මේ සඳහා, බෝමී පොතු, හාතවාරිය කොළ, කෝවක්කා කොළ, නිල් වැල්, හොඬල අල, බටතැල්ල කොළ ආදී බොහෝ ඖෂධීය ශාකත්,
ඇත්දත් කුඩු, මී අං කුඩු, ආදී ශාකමය ඖෂධත් මේ සඳහා උපයෝගී කරගනී.

සන්ධි විකෘති ලෙස පෑස්සී ඇති විට සන්ධි බුරුල් වීමට බෙහෙත් බැඳ නැවත සන්ධි සකසා බෙහෙත් බැඳීම සිදුවේ. ඉන් පසුව කසාය වර්ග පානය කිරීමට සලස්වා නැවත බෙහෙත් බැඳීම සිදුකරයි.

යම්කිසි භග්නයකට බෙහෙත් බැඳීමට නොහැකි අවස්ථා වලදී එම බෙහෙත කරේ බැඳීම සිදුකරයි. ඒ සඳහා වෙනම බෙහෙත් පන්තීන් පවතී. ඇඳේ කකුලක බෙහෙත් බැඳීමෙන් රෝගියා සුවකරන රහස් ඖෂධ අප අතර පැවතුනත් අද ඒවා අපේ අවාසනාවට අභාවයට ගොස් ඇත.

~ භග්න රෝගීන් නෑවීම සඳහා ~

💥 දෙහි, දොඩං, නික, කුඹුරු, පාවට්ටා, කොහොඹ, වරා, වෙල්ලංගිරිය, යකිනාරං කොළ තම්බා නෑවීමද,
💥 වෙනිවැල්ගැට, ගම්සූරිය කොළ, නික කොළ තම්බා නෑවීමද සිදුකරයි.

භග්න රෝගීන් සඳහා සුදුසු, නුසුදුසු ආහාර පාන, කැඳ වර්ග, සුප් වර්ග, කෂාය වර්ග චර්‍යා රටා හා තමා තුළ ඇති කරගත යුතු මෛත්‍රිය, කරුණාව වැනි ගුණධර්ම ආදී සුදුසු ආහාරපාන හා පිළිවෙත් ගැන පහදා දෙන වෛද්‍යවරයා එම රෝගියා සුවපත් වනතුරු නිතර ඔහු කෙරේ නිතර මෛත්‍රිය හා කරුණාවෙන් යුක්තව කටයුතු කරනු ලබයි.