ආයුර්වේදය සමඟ බැඳි ආහාර පිළිවෙත්


ආහාරය මිනිසාගේ දිවිපැවැත්මට උපකාරී වන මූලික අවශ්‍යතා වලින් ප්‍රධාන එකකි. ආහාර වර්ග රටක දේශගුණය, ආර්ථිකය, සුලභතාවය, රුචිකත්වය යනාදී හේතූන් මත විවිධත්වයක් ඉසිලුවද විද්‍යාත්මකව එම ආහාරවල ගුණ අගුණ නිර්ණය කළ හැකිය. ආයුර්වේදය ද ආහාර පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් ඉදිරිපත් කරයි.

ආයුර්වේද යන වචනයේ අර්ථයද "ආයුෂ" පිළිබඳ උගන්වන ශාස්ත්‍රය යනුයි. එය භාරතයෙහි සම්භවය ලැබ විකාශනය වූවකි.

ආයුර්වේදය කෙනෙකුගේ නිරෝගී බව රැක දීමටත් රෝගී පුද්ගලයකු එයින් මුදවා ගැනීමටත් උපදෙස් සපයයි. ආයුර්වේදයේ මූලික සිද්ධාන්ත අතර පංචභූත සංකල්පය හා ත්‍රිදෝෂවාදය ප්‍රධාන තැනක් ගනී.

🔴 පංච භූත සංකල්පය
==================

මිහිතලය මත ඇති සියලුම දේ සෑදී ඇත්තේ පහත සඳහන් පංච භූතයන්ගෙන් බව මෙම සංකල්පයෙන් කියවේ. ආපෝ, තේජෝ, වායෝ, පඨවි සහ ආකාශ යන මේ එක් එක් භූතයන්ගේ ගුණ විවිධ වස්තූන්හි අඩු වැඩි වශයෙන් හෝ මිශ්‍රව අඩංගු වී ඇත. මිනිස් ශරීර, ශාක, සත්තු යනාදී කවර දෙයක් වුව ද නිර්මාණය වී ඇත්තේ පංච මහා භූතයන්ගේ සම්මිශ්‍රණයකින්ය. එම භූතයන්ගේ අඩංගු ගුණ හා ලක්ෂණ මෙසේ සඳහන් කළ හැකියි.

🔶. ආපෝ ධාතුව

ජල ධාතුවයි. ද්‍රව ගුණ දක්වයි. ගලා යන ගතිය, ශීතල, ආපෝ ධාතු අධික ද්‍රව්‍ය වල ඇත. මිනිස් ශරීරයේ නම් මුත්‍රා, රස, රක්තය, ඩහදිය වල ආපෝ ධාතුව අධික වන්නේය.

🔶. තේජෝ ධාතුව

ගින්දරට සමාන ලක්ෂණ දක්වයි. රස්නය, උණුසුම, පිළිස්සීම, ආලෝකය වැනි ලක්ෂණ පෙන්වයි. තීක්ෂණ, උෂ්ණ ලෙසද හැඳින්වේ. තේජෝ ධාතුව අධික ද්‍රව්‍ය නිසා ශරීරවල දැවිල්ල, පැසවීමේ ගුණය (ආහාර පිළිස්සීමෙන් ශක්තිය ලබාගැනීම) ආදී ලක්ෂණ ප්‍රකට වේ. ජලයට විරුද්ධ ගුණ පෙන්වයි.

🔶. වායෝ ධාතුව

වාතයේ ලක්ෂණ පෙන්වයි. බල ගුණය, ගම්‍යතා (වහා පැතිරීමේ ගුණය) මේ ධාතුව නිසා ඇතිවේ. සූක්ෂම යැයිද හැඳින්වේ. ශරීර වල ලේ, මළ, මුත්‍ර ආදිය පිටවීම, ආශ්වාස ප්‍රාශ්වාස වායෝ ධාතුව නිසා වාතය ආධාරයෙන් සිදු වේ.

🔶. පඨවි ධාතුව

ස්ථිර ගතිය, තද බව හා ගුරු ගුණය පඨවි ධාතුව නිසා ඇතිවේ. පඨවි භූත අධික ද්‍රව්‍ය නිසා ශරීරවල ස්ථිරත්වය ඇති වේ. ශරීරවල බර වැඩිවේ. අස්ථි වල තද බව ඇති වේ.

🔶. ආකාශ ධාතුව

හිස් ගතිය මේ ධාතුවේ ලක්ෂණය යි. මේ ද්‍රව්‍යයන් නිසා සැහැල්ලු බව, ශරීරයේ අවකාශ තිබීම, ලඝු බව, අස්ථි මනා ලෙස නොවැඩීම සිදු වේ.

උක්ත පංච මහා භූතයන්ගෙන් ශරීරය මෙන්ම අප ගන්නා ආහාර ද තැනී ඇත. එහෙත් අපේ ශරීරයේ ද, ආහාර ද්‍රව්‍යවල ද ඉහත කී භූත ස්වරූපය මුළුමනින්ම දක්නට නැත. මේ හේතුවෙන් පංච මහා භූත ස්වරූපයෙන් සම්, මස්, ඇට, ලේ හෝ විවිධ ආහාර ද්‍රව්‍ය බවට පත්ව ඇති ද්‍රව්‍ය අවබෝධය සඳහා මෙසේ වෙන්කර ගත හැකිය. එය තුන්දොස් ලෙස හැඳින්වේ.

🔵 ත්‍රිදෝෂ වාදය
============

දෝෂ යනු ශරීරය දූෂණය කරන්නකි. දෝෂ 03 කි. මේවා සමබරව පවත්නා විට ශරීරය නිරෝගීව පවතින අතර විෂම වූ විට රෝග ඇතිවේ. මෙම ත්‍රිදෝෂ,
01. වාත (වා)
02. පිත
03. සෙම (කප) ලෙස හැඳින්වේ.

🔷. වාතය (වා)

තුන්දොස් වලින් ප්‍රධානතම වේ. අනෙක් දෝෂයක් ශරීර තුළ මෙහෙයවන්නේ වාතයයි. මෙය වායෝ භූතයේ ගුණ දරයි. ශරීරය ගමන් කරවීම, අත්පා ක්‍රියාකරවීම, ආහාර පහළට ගෙන යෑම, ස්නායු ක්‍රියාකාරීත්වය, රුධිර සංසරණය ආදිය වාතය මගින් මෙහෙය වේ.

අප ගන්නා ආහාර අතර වාත ගුණය අධික ආහාර වර්ගද වේ. මේවා වාතය වර්ධනය කරයි. කොල්ලු, මුං, උඳු මීට උදාහරණ වේ. මේ ආහාරවල සූක්ෂ්ම ගුණය අධික ය. එනම් පහසුවෙන් ගමන් කිරීමේ ගුණය දරයි. කොස් වාතය අධික ආහාරයක් ලෙස සැලකේ.

🔷. පිත

මෙලෙස හැඳින්වෙන්නේ අග්නි භූත ගුණයයි. තේජෝ භූතයේ ගුණ පිත මඟින් පෙන්වයි. ශරීරයේ උණුසුම ඇති කිරීම, ආහාර දිරවීම, ශරීර වර්ණය ලබාදීම, ප්‍රබෝධවත් භාවය යනාදිය පිත මගින් සිදුවේ. උෂ්ණාධික බව මෙහි ප්‍රධාන ලක්ෂණය වේ.

ආහාර වර්ග අතර ඇති පිත අධික ආහාර පිත්තජ ආහාර ලෙස ද හැඳින්වේ. දාහය, උෂ්ණය වැඩි ආහාර පිත අධික ආහාර වලට උදාහරණ වේ. එසේම පිත් අධික ආහාර වල බලවර්ධක ගුණයද ඇත. කෙලවල්ලා බලයා වැනි මාළු වර්ග, රඹුටන්, අන්නාසි වැනි පලතුරු පිත අධික ආහාර වලට උදාහරණ වේ.

පිත අධික ආහාර වැඩියෙන් පරිභෝජනය කිරීම පිත්තජ රෝගවලට හේතු වේ.

🔷. සෙම (කප)

සෙම හෙවත් කප ශරීරය දරාගනී. මෙය පඨවි හා ජල ධාතුවේ සංයෝගයකි. මන්ද ගුණය ස්ථිර බව ආදියට ද ආධාර වේ. ශක්තියද සපයයි.

කප අධික ආහාර වලද ඉහත ලක්ෂණ දැකිය හැකිය. මීට උදාහරණ ලෙස තෝර මාළු, මීකිරි, කිරි ආදිය මෙන්ම බත් ද දැක්විය හැකිය.

🔴 ආහාර පිළිබඳ ආයුර්වේද මත
=========================

ආහාර පිළිබඳව ආයුර්වේදයේ දැක්වෙන තොරතුරු වලට අනුව ආහාර වලින් අපට පහත සඳහන් ප්‍රයෝජන 08 ලැබේ.

01. ආයු
02. වර්ණ
03. සුඛ (සැපය)
04. බල (ශක්තිය)
05. ප්‍රඥා (බුද්ධිය)
06. තුෂ්ටි
07. පුෂ්ටි
08. අධිපතිනා (ඌර්ජා)

🔵 ආහාර වල පවත්නා ගුණ වෙනස් වීම
===============================

ආහාර වල පවත්නා වූ ගුණ වෙනස් වීමට හේතුවන කරුණු කිහිපයක් ඇත. ආහාර සංයෝගය මෙබඳු එක් කරුණකි. විවිධ ගුණ අඩංගු ආහාර ලබාගැනීමෙන් සමබර ආහරක් අපට ලැබෙන නමුත් එලෙස ආහාර සංයෝග කිරීමේ දී ආහාරයේ ගුණ වෙනස් වන අවස්ථාද දැකිය හැක. එමෙන්ම එවැනි නොගැලපෙන ආහාර එකට ගැනීම නිසා ලෙඩ රෝගද ඇතිවිය හැක.

"එකිනෙකට පටහැනි ගුණ වලින් යුතු ද්‍රව්‍යයෝද, එක් එක් ධාතුවට පටහැනි වන ද්‍රව්‍යයෝද, සංයෝග සංස්කාර විසින් විකෘති වූ ද්‍රව්‍යයෝද සිරුරට වරදක් කරති." යනුවෙන් සඳහන් වේ. මෙවැනි ආහාර විරුද්ධාහාර නම් වේ. මීට උදාහරණ ලෙස කිරි සහ මාළු එකට ආහාරයට ගැනීම දැක්විය හැකිය. වෙන්ව ගත්විට ඉතා ගුණදායක වන මේ ආහාර එකට ගත්විට සෞඛ්‍යයට හානි සිදුවිය හැකිය. තවද ඇඹුල් ආහාර සමඟ එළකිරි පානය කිරීම ද නුසුදුසුය. ඉහත සඳහන් ආකාරයේ විරුද්ධ ආහාර වලින් වැළකී සිටීම යහපත් සෞඛ්‍යයට හේතුවෙයි.

🔴 මිශ්‍ර ආහාර
===========

විවිධ ආහාර වර්ග අතුරින් ගැළපෙන ආහාර වර්ග කීපයක් සම්මිශ්‍රව යෙදුණු විට ඒ ආහාරයෙන් සිරුරට පෝෂ්‍ය පදාර්ථ ලැබෙන බව ආයුර්වේදයේ සඳහන් වේ. මෙසේ ආහාර ද්‍රව්‍ය මිශ්‍ර කිරීම සැලකිල්ලෙන් කළ යුතු බව මින් පෙරද සඳහන් විය. එක් ආහාරයක ගුණ අගුණ තවත් ආහාරක් සමඟ මිශ්‍ර වන විට වෙනස් වේ.

ආහාර වලින් අපේ දිවට දැනෙන පදාර්ථ හයක රස ගැන සඳහන් වේ. ඒවා මෙසේය.

🏵️01. මධුර රස

උදා:- වැල් මී, කිරි, පොල්, උක්, හාතවාරිය, රට ඉඳි ආදිය

🏵️02. අම්ල රස


උදා:- නෙල්ලි, දෙළුම්, අඹ, මෝරු, සියඹලා ආදිය

🏵️03. ලවණ රස

උදා :- ලුණු ( සවිඳ ලුණු, මුහුදු ලුණු ආදිය )

🏵️04. කටුක රස

උදා:- තිප්පිලි, ගම්මිරිස්, කොත්තමල්ලි, අබ, සුදුළූණු, මුරුංගා ආදිය

🏵️05. තිත්ත රස

උදා :- කොහොඹ, වෙනිවැල්, කහ, කරවිල, ගොටුකොළ ආදිය

🏵️06. කෂාය රස

උදා:- දියමිත්ත, තොටිල, කුඹුක් ආදිය

🚫 ඉහත සඳහන් එකම රසයක් ඇති ද්‍රව්‍ය දිගටම ආහාරයට ගැනීම නුසුදුසු ය.

🔴 අපේ රටේ ආහාර පිළියෙල කිරීම හා ආහාර
=============================

අපේ රටේ සාම්ප්‍රදායික ආහාර සහ සාම්ප්‍රදායික ආහාර සංයෝගයන් දැකිය හැකිය. එමෙන්ම එම ආහාර පිළියෙල කරන විවිධ ක්‍රමද පවතියි.

සාම්ප්‍රදායික ආහාර අතරින් පස්ගෝරස වැදගත් තැනක් ගනී. මීට,
• කිරි
• දීකිරි
• මෝරු
• වෙඬරු
• ගිතෙල් අඩංගුය.

මින් දීකිරි සමඟ කිතුල් හෝ පොල් පැණි එකට ආහාරයට ගැනේ.

මෙරට ආහාර වර්ග අතරින් ධාන්‍ය ප්‍රධාන කොටස් 05 කට බෙදිය හැකිය.

🔶. ශාලි ධාන්‍ය - හාල් ආදිය
🔶. ව්රිහි ධාන්‍ය - දෙමස් වී ආදිය
🔶. ශුක ධාන්‍ය - බාර්ලි, තිරිඟු ආදිය
🔶. ශිම්ඛි ධාන්‍ය - මුං, උඳු, කඩල, පරිප්පු, කව්පි, කොල්ලු ආදිය
🔶. ක්ෂුද්‍ර ධාන්‍ය - තණහාල්, කුරක්කන්

🌸 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
ආයුර්වේදයේ එක් සිද්ධාන්තයකි තමන් උපන් රටේ වැඩෙන ආහාර වර්ග තමන්ට සුදුසු බව. එහි අදහස උපන් රටේ දේශගුණය කාලගුණය ආදිය ඇසුරු කර වැවෙන සියල්ල හිතකර බවයි.
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

🔵 ආහාරය හා බැඳුණු සිරිත්
======================

☀️ ආහාර ගන්නා කාලය :-

සාම්ප්‍රදායිකව ආහාර ගැනීමට සුදුසු කාලයක් ඇත. නුසුදුසු කාලයක ගන්නා ආහාර (විකාල) භෝජනය නිසා ශාරීරික අපහසුතා ඇති වේ.
අපේ රටේ උදය, මධ්‍යහ්නය හා රාත්‍රිය ලෙස ආහාර ගන්නා කාල 03 ක් වේ.

🥗 ආහාර වර්ග හා ප්‍රමාණ :-

තම තමන් කරන කාර්යයන් අනුව ගන්නා ආහාර වර්ග තීරණය විය යුතුයි. ව්‍යායාම රහිත කාර්යයන්හි නියැලෙන්නන් ලඝු හෙවත් සැහැල්ලු ආහාරයක් ගත යුතුයි. කොළ කැඳ මීට උදාහරණ වේ.

අධිකව ව්‍යායාම සහිත කාර්යයන්හි නියැලෙන්නා වූ අය ගුරු හෙවත් බර ආහාර ගැනීමේ වරදක් නැත. ආහාර ගන්නා ප්‍රමාණය පුද්ගලයා අනුව වෙනස් වේ. ඒ ඒ පුද්ගලයාගේ ආහාර මාත්‍රාව ඔවුන්ගේ කුසගින්නේ ප්‍රමාණය අනුව තීරණය වෙයි. අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් ආහාර ගැනීම මෙන්ම අඩුවෙන් ආහාර ගැනීම ද හිතකර නොවේ.

🔴 ආහාර ගැනීම
=============

ආහාර ගැනීමේදී පිරිසුදුකම ගැන සැලකිල්ලක් දැක්වීම අත්‍යවශ්‍ය ය. අතීතයේ සිට ආහාර ගැනීම සඳහා කෙසෙල් කොළ, නුග කොළ, නෙළුම් කොළ ආදිය ගත් අතර ඒ ශාක පත්‍ර හොඳින් සෝදා පිරිසුදු කර ගත යුතුයි.

ආහාර ගත යුත්තේ අන් බාහිර පුද්ගලයින්ට නොපෙනෙන විවේකී ස්ථානයක ය. ආහාර ගන්නා අතර හිත් කළකිරවන දේ කතා නොකළ යුතුයි. ආහාර ගන්නා විට තමන්ට ප්‍රිය ජනක පුද්ගලයින් පමණක් එහි සිටීම වඩාත් උචිතය.

🔵 රෝග සහ ආහාර
================

ත්‍රිදෝෂය අසමබර වීම නිසා රෝග ඇති වේ. වා, පිත්, සෙම් අඩු වැඩි වීම අපේ ශරීරයේ රෝග ඇතිවීමට හේතුවේ. ආයුර්වේදයට අනුව රෝග නිශ්චය කිරීමේදීත් රෝගයට පිළියම් යෙදීමේදීත් ප්‍රත්‍ය - අප්‍රත්‍ය (සුදුසු - නුසුදුසු) ආහාර තීරණය කිරීමත් සිදු වන්නේ ඒ ඒ පුද්ගලයාගේ ශරීර ස්වභාවය / දේහ ප්‍රකෘතිය අනුවය.

පුද්ගලයාගෙන් පුද්ගලයාට ශරීරයේ ත්‍රිදෝෂ සමාන නැත. ඇතැම් වාතාධික ශරීර ඇති පුද්ගලයෝ සිටිති. අනෙක් දෝෂ‍යන් ද එසේ ය. මේ අනුව ඒ ඒ රෝගියාගේ දෝෂ වල තත්වය සලකා ඔවුන්ගේ ප්‍රකෘතිය අනුව ප්‍රත්‍ය - අප්‍රත්‍ය ආහාර තීරණය කිරීම කළ යුතුව ඇත.